Monday, April 3, 2017

කැවුම් මඩුවෙ ගින්න

නිවාඩු දවසෙ දවල් කෑමෙන් පස්සෙ පොඩ්ඩක් නිදාගන්න කලින් ෆෝන් එක අතට අරගෙන බුකිගත වෙලා ඉන්නකොට පුතා ආව. ටික වෙලාවක ඉඳල පුතා, අල්ලපු ගෙදර යාලුව එක්ක සෙල්ලම් කරමින් හිටියෙ.

“තාත්තේ කැවුං මඩුවෙ ගින්දර තියනව... වතුර ටිකක් දාන්න“

පුතාගෙ කතාව ඇත්ත වෙන්න පුළුවන්, අම්ම දවල් කැවුම් වගයක් හදනව දැක්ක ගේ ලඟ තියන පොඩි ගේ කෑල්ලෙ. ඉතිං ගින්දර ඉතිරි වෙලා තියෙන්න පුළුවන්.

“හරි හරි... පුතාල ඒ පැත්තට යන්න එපා... මම වතුර ටිකක් දාන්නං...“

******************************************************

පොරොන්දු වුනාට ෆෝන් එකේ එල්ලිලා හිටිය මට ගින්දර ගැන අමතක වෙලාම ගියා.

“තාත්තේ... අන්න කැවුං මඩුව ගිනිගන්නව...“

පුතාගෙ කටහඬ ඇහුන...

“ඒ කොහොමද?“

“අපි අඟුරු ටිකට පිදුරුයි වේලිච්ච තණකොල ටිකකුයි දැම්ම....“

“ඒ මොකටද? මම කිව්වනේ ඔයාලට ඒ පැත්තට යන්න එපා කියල...“

“ඉතිං ඊට ඉස්සෙල්ල මම තාත්තට කිව්වනේ වතුර දාන්න කියල.... තාත්ත වතුර දැම්මද? නෑනෙ! ඉතිං අපි ගිනි තිව්ව එතකොටවත් ඒවි කියල... දැං දුවල එයි වතුරත් අරගෙන.... හි හි හි....“

කොල්ලයි යාලුවයි පැනල දුවද්දි තමයි ගින්න නිවන්න කල්පනාවට ආවෙ.... මඩුවෙ බාගයක් විතර පිච්චිලා.... ගින්න වහල දක්වා පැතිරිලා....

“මෙන්න මඩුව ගිනිගන්නවා.... ඉක්මනට යං නිවන්න.....“ මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුව...

“මොකද මේ මහ දවල් හීනෙං බෙරිහන් දෙන්නෙ?“ හාමිනේගෙ සද්දෙට තමයි ඇහැරුනේ!

හාමිනේට උත්තර දෙන්න සුනංගු නොවී මම ගියා මඩුව ලඟට... කැවුම් පුච්චපු ලිපට වතුර දාල... ගින්න නිවල තිබුන... පුතා යාලුව එක්ක ආව...

“තාත්ත ආවෙ නෑනෙ... අපි මල් තෙමන බටේ අරගෙන ලිපට වතුර දැම්ම...“

“මොකද්ද දැං වුනේ? ඇයි ඔයා හීනෙං බයවෙලා මඩුවට ආවෙ?“ හාමිනේ ඇහුව.

ආචාර්ය මහාචාර්යලාට වැඩිය ළමයින්ට තේරෙනව ඒ නිසා අවුලක් නෑ!“