Friday, January 8, 2016

මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?

"මාධ්‍ය ප්‍රකාශක" යනු මෑත ඉතිහාසයේ ප්‍රචලිත වූ තනතුරකි. යුද්ධය පැවති සමයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරය දැරූ සරත් මුණසිංහ මහතා සිතියමකට කෝටුවෙන් අනිමින් සටන් සිදුවූ ස්ථාන, මියගිය ප්‍රමාණයන්, සිදුවූ හාණි ආදිය විස්තර කරන ආකාරය නැරඹීටම අප රූපවාහිණියට එබී සිටිය අයුරු මතකය. රාජ්‍ය සේවයේදී මාධ්‍ය සඳහා තොරතුරු ලබාදීම ඕනෑම කෙනෙකුට සිදුකල නොහැකිය. ඒ සඳහා අවසරලත් පිරිසක් වේ. පසු කාලයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ මාධ්‍ය ප්‍රකාශක තනතුරක් ඇතිවිය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉන් කිහිපයකි.

ජනමාධ්‍යයේ ව්‍යාප්තියත් සමඟ මාධ්‍ය ප්‍රකාශක තනතුරු ඇතිවීම අයහපත් දෙයක් නොවේ. මාධ්‍යන්ට තොරතුරු ලබාදීමේ කලාව හොඳින් ප්‍රගුණකල අයෙකු මේ සඳහා යොදාගැනී‍ම "නාගැනීම්" අවම කර ගැනීමට හේතුවකි. එහෙත් රජයේ ආයතන වෙනුවෙන් මාධ්‍යට තොරතුරු සැපයීම සඳහා පත්කර සිටින පිරිසගේ හැසිරීම කිසිසේත්ම රාජ්‍ය සේවයට සුදුසු නැත. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක හිරු නාලිකාවෙන් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට දුරකතන ඇමතුමක් ලබාගත්තේ තහනම් කල ග්ලයිෆොසෙට් වල්නාශක තොගයක් රටට පැමිණීම පිළිබඳව විමසීමටය. තමන් කෑම කමින් සිටින බව පවසමින් ඔහු දුරඇමතුම විසන්ධි කල අතර ඉන් පසුව සම්බන්ධ කරගත නොහැකිවූ බව රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කලේය. ඔහුගේ හැසිරීම රාජ්‍ය සේවයට කිසිසේත්ම නොසුදුසුය. ලජ්ජාශීලි ගැහැණු ළමයෙකුගෙන් කැමැත්ත ඇසූවිට මෙන් හැසිරීම රජයේ වැදගත් තනතුරක් දරන්නෙකුට සුදුසු නැත.

මෑත ඉතිහාසයේ මාධ්‍ය ප්‍රකාශකයන් අතර කුප්‍රකටයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. යම් සිද්ධියක් පිළිබඳව අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු ලබාගත් මාධ්‍යන්ට‍ ඉන්පසු සිදුවූයේ කොළඹ සිටින මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ලංකාවේ ඕනෑම ස්ථානයක සිදුවූ යමක් පිළිබඳ විමසීමටය. පොලිසියේ වීරකම් බලුකම් සියල්ල විස්තර කිරීමට භාරවූයේ ඔහුටය. වැදගත් තනතුරක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රෙදි සෝදන්නෙකුගේ තත්වයට පත්වූයේ පසුගිය ආණ්ඩුව සමායේ එම තනතුර දැරූ අජිත් රෝහණගේ කාලයේදීය. ආණ්ඩුවේ සෘජු අනුදැනුම මත සිදුකල ජඩකම් සහ පෞද්ගලික වශයෙන් පොලිසිවලින් ජනතාවට සිදුවූ අගතීන් වෙනුවෙන් එල්ලවූ චෝදනාවලින් ආණ්ඩුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් ගලවාගැනීමට ගත් උත්සාහයේදී ඔහු නිරුවත් වූයේ අදාල ආයතනයන් දෙකද සමඟය. එකල සුලබව සිදුවූ, අත්අඩංගුවේ සිටි සැතතරුවන් ඝාතන සිදුවීම් ආදිය සාධාරනීකරණය කරන ලද්දේ කිසිදු හිරිකිතයක්න් තොරවය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රුවන් ගුණසේකර මේ වනවිට සිදුකරමින් සිටින්නේද එයමය. පසුගිය දිනෙක ඇඹිලිපිටියේ නිවසකට පහරදීමෙන් එක් අයෙකු මියයාමේ සිද්ධියේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අතේ පැලවෙන බොරු කියන ආකාරය පෙනෙන්නට තිබිනි.

පොලිසියේ වේවා වෙනත් ආයතනයක වේවා මාධ්‍ය ප්‍රකාශක තනතුර දරන්නාගේ වගකීම ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට සැලැස්වීම මිස රෙදි අපුල්ලන්නෙකුගේ කාර්යභාරය කිරීම නොවේ. එසේ නොවුවහොත් සිදුවන්නේ තමාත් තම ආයතනයත් පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීමයි. ඉතා සුළු පිරිසක් සිදුකරන වැරදි සාධාරනීකරණය කිරීමෙන් තම දෙපාර්තමේන්තුව අපකීර්තිමත් වන බවත්, වැරැද්දක් සිදුව අැත්නම් ඒ පිළිබඳව සත්‍ය ප්‍රකාශ කිරීමෙන් පොලිසියේත් රජයේත් තමාගේත් ගෞරවය පහසුවෙන් ආරක්ෂා කල හැකි බැව් තේරුම් ගැනීමට මේ නීතීඥයන්ට නොහැකිවීම පුදුම සහගතය.



පෙර ලිපි :බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්