දිග සති අන්තයේ කාන්සියෙන් සිටි මා හැන්දෑ යාමයේ පාරට පැමිණියේ වෙනසක් වෙනුවෙනි. නගරය දෙසින් ඇසුනු ඝෝෂාකාරී හඬ කුමක්දැයි වටහාගැනීමට අපොහොසත් වූ බැවින් ඒ දෙසට ගමන් කිරීම ඇරඹීමි. අභාග්‍යකි! සිදුවීම කුමක් වුවද මේ වනවිට එය අවසන් වී ඇති බැව් දැනගැනීමට හැකිවූයේ රැස්ව සිටි පිරිස විසිරී යන ආකාරය දැකීමෙනි. කිසිවක් සිතාගත නොහැකි වුවද යම් කලබලයක් සිදුවී ඇති බවත් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සිතාගතහැකි වූයේ දෙනෙත් පිසදමමින් පැමිණි පිරිස දුටු නිසාය. දස වසරකට පමණ පෙර විශ්ව විද්‍යාලයේ සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයේ අත්දැකීම් ඇති බැවින් නගර මධ්‍යයට නොගොස් මාවෙත පැමිණෙමින් සිටි වයස්ගත කාන්තාවක් අසලට කිට්ටු වීමි.
"මොකද්ද අම්මේ සිද්ධවුනේ....?, ඇයි කඳුළු ගෑස් ගැහුවෙ....?"
"කඳුළු ගෑස්? මොන කඳුළු ගෑස්ද? මොන කලබලයක්ද?"
"ඇ..ඇයි මේ කට්ටිය ඇස් පිහදාන්නෙ? මොකද්ද උනේ?"
"නෑ පුතේ මේ අපි ගියානෙ අර විරෝධතාවයට.... කොළඹ.... ඒකට ගිහිල්ල එන ගමං..."
"විරෝධතාවෙ? ඒ මොකද්ද අපි නොදන්න විරෝධතාවෙ...... ආ.... ඇමරිකාවෙ යෝජනාව ගැනද?"
"මොන යෝජනාවද ලමයෝ.... අපි ගියේ ජනාධිපතිතුමා පුතා යූඑන් එකට එක්ක ගියාට විරෝදෙ දක්වන්නනෙ...."
"හෑ! ඉතිං... දුන්න නේද ඔහේලට කඳුළු පනින්න?"
"උඹට පිස්සුද?"
"එහෙනං මේ මොකද කට්ටිය අඬන්නෙ? මොකද්ද වුනේ"
"අපි ගියා ජනාධිපති මන්දිරේටම දන්නවද! ඇතුලටම ගියා!"
"ඉතිං? ජනාධිපතිතුමා තාම ආවෙ නෑනේ....."
"ඒවුනාට ආර්යාව හිටියනෙ!"
ඔහේල විරොදෙ පෙන්නල එන්න ඇති නේද?"
"විරෝදෙ?" ඇය හැඬීමට පටන් ගත් අතර මේ පාත්වූ හෙනය කුමක්දැයි වටහා ගැනීමට අපොහොසත් වූ මා වික්ෂිප්ත විය.
"හරි හරි... අම්ම අඬන්නෙ නැතුව කියන්නකො..... මොකෝ ජනාධිපති ලඟට යන්න ගිහිල්ල කොච්චර ගුටින්න ඇද්ද, මැරුං කන්න ඇද්ද මෙහේ මිනිස්සු!"
"අවකැපෙන කතා කියන්න එපා දරුවෝ.... එහෙම දෙයක් උනේ නෑ.... අනේ ඒ උත්තමාවි කොච්චර හොඳයිද! අපි තමයි මෝඩයො වගේ කෑගහගෙන ගියේ.... දරුවන්ට ආදරේ දෙමව්පියො ගැන කොච්චර වැරදියටද අපි හිතුවෙ....ඉහි ඉහි ඉහි....."
යලි හැඬීමට පටන් ගත් ඇයගෙන් අපහසුවෙන් අසාගත් තොරතුරු අනුව සිදුවීම මෙසේ ගැලපීමි.
♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠
එදින රාත්‍රියේ මෛත්‍රී ජනාධිපතිවරයා සිටියේ නොනින්දෙනි. සැප පහසු සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටි ඔහු අවසානයේ ඇඳ අසල තිබූ වතුර වීදුරුව එක හුස්මට පානය කලේය. සිරිසේන මැතිනියට ජනාධිපතිවරයාගේ වෙනස නොපෙනුනා නොවේ. එහෙත් ඕ සැමියාගේ ප්‍රශ්න වලට මැදිහත් වී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් පසුදා යාමට නියමිතව ඇත්තේ ඉතා වැදගත් ගමනකි. එබැවින් නිහඬතාවය බිඳ දැමීමට ඇයට සිදුවිය.
"ඇයි මහත්තය මොකද්ද ප්‍රශ්නෙ? ගේනව කියන යෝජනාවද?"
"නෑ නෑ හාමිනේ.... ඒකනං මොකද්ද! රනිල් ඒක බලාගන්නැතෑ...."
"එහෙනං?"
"කැබිනට් එක ලොකුයි කියල එක එකා කියන කතා නිසාද?"
"අපේ කැබිනට් එක පුංචිවුනේ කවද්ද නෝනේ..... ඕක අපි දන්න කාලෙ ඉඳලම ඔහොමනෙ හිටං...."
"හ්ම්.... ඒකත් ඇත්ත... එහෙනං..... මරණ දඬුවම දෙන්න වෙන නිසාද? ඒක ඉතිං මං කිව්ව වගේම පාර්ලිමේන්තුවට දැම්මනෙ.... දැං ඉතිං මැරුවත් පාර්ලිමේන්තුවෙ අයටනෙ පවු සිද්ධ වෙන්නෙ නේද?"
"නෑ නෑ නෝනේ මං කල්පනා කලේ..... දැං හෙට මම ගියාම ඔයා කොහොමද මේ ළමයි තුන්දෙනා බලාගන්නෙ කියල....."
"ආ..... ඒත්....."
"බලන්න දැං රටේ සිද්ධවෙන දේවල්..... ළමයෙක් තනියම තියන්න පුළුවන්ද ආරක්ෂකයො හිටිය කියල මෙහේ උනත්.... මං අහගෙන කවුදෝ කියනව ළමයින්ට කරදර කරන්නෙ ලඟම ඉන්න අයයි කියල හිටං"
"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තය.... දැං අපි මොකද කරන්නෙ?"
"කට්ටියටම මා එක්ක යන්න නං පුළුවං.... ඒත් රටේ සල්ලි වලිං අපි එහෙම යන එක හරි නෑ නේද නෝනේ? රට්ටු මොනව කියයිද?"
"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තයා.... මං කියන්නං.... අපි මෙහෙම කරමු.... මහත්තය පුතා එක්ක යන්න.... මං දූල දෙන්නත් බලාගෙන මෙහේ ඉන්නං.... පුතා විතරක් ගියාට ලොකු පාඩුවක් නෑනෙ.... අනෙක කෙල්ලො දෙන්න වගේ ඌ එක එක දේවල් ඉල්ලන්නෙත් නෑනෙ...... කෙල්ලො එක්ක ගියොත් තමයි වියදං වැඩි!"
"අන්න හොඳයි හාමිනේ.... හරි එහෙනං.... මම තව ඩිංගක් නිදාගන්නං එහෙනං...."
♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠
"අන්නේවගේ ගුනයහපත් මිනිස්සුන්ට තමයි පුතේ මුං දොස් කියන්නෙ ඉහි ඉහි ඉහි...."
"හරි හරි.... දැං ඉතිං අඬන්න ඕන නෑ නෙව...." පපුවට ගසාගන්නට වූ ඇගේ අත අමාරුවෙන් ඉවත් කලා පමණි.
"මොනවද මේ හීනෙං කියවන්නෙ තනියම ඉඳගෙන.... කවුද ඔය අඬන්නෙ?" බිරිඳගේ හඬන් නින්ද හමාරවිය.
එහෙනං එ්ක හීනයක්!
[අදහස:නදීශා චන්ද්‍රසේන මහත්මිය]