Thursday, July 30, 2015

කෘමි මර්ධනය, හෙයාස්ටයිල් සහ ජුන්ඩ ලොකුකිරීම.....

අපේ කාර්යාල වලට නිතරම එනව එක එක අයිටම් විකුණන මිනිස්සු. දුරකතන පැකේජ, එක එක ජාති වල සඟරා, එක එක ජාති වල ගැජමැටික්, තෑගි භාණ්ඩ, මාල-වලලු-මුදු-කරාබු වගේ අයිටම්, ටෝච් එකේ ඉඳල ෆ්‍රිජ් එක දක්වා විදුලි උපකරණ.... ඔයවගේ අටෝරාසියක් දේවල්. පිලිගත් සමාගම් වල ප්‍රදර්ශන වගේම 'හඳුන්වාදීමේ' ඒජන්තයොත් මේ අතරෙ ඉන්නව. ඔය සමාගම් වල අය නං අවුලක් නෑ. අපි යම් තරමකට දන්න කියන අය තමයි එන්නෙ. නමුත් නව නිෂ්පාදන කාරයො නං හරි අයියල අක්කල බව කියන්න ඕන.

මේ ලඟදි දවසක හවස දෙකට විතර ආව බුවෙක්. ගෙවල් වල ඉන්න කෘමීන් මර්ධනය ගැන දේශනයක් දෙන්න එනව කියලයි කලින් ආරංචි උනේ. ඔන්න මෑන් ඇවිල්ල කූඹි, මකුළුවන්, හූනන්, කැරපොත්තන්ගෙන් වෙන කරදර ගැන කිව්ව. ඊට පස්සෙ බෑග් එක ඇරල ගත්ත අර කූඹි එනවට අඳින චෝක් එකක්.

"දැං ඔබතුමන්ලා බලන්න මේ තියෙන්නෙ චෝක් එකක්.... අපි ගෙවල් වල කූඹි එනවට මේ වගේ චෝක් පාවිච්චි කරනව.... සාමාන්‍යයෙන් අපි කරන්නෙ කූඹි එන තැන් බලල දිග ඉරක් අඳින එක..... නැත්තං රවුමට ඉරක් ඇඳල මැද්දෙන් කෑම ජාති තියන එක..... ඒක ඉතිං ටික දවසක් යද්දි මැකිල යනව..... ඊට පස්සෙ ආයෙත් අඳින්න ඕන.....නමුත් මේක එහෙම නෙවේ.... මේක දහයයි දහයෙ කාමරයක මෙන්න මෙහෙම ඉරි දෙකක් ඇන්ද නං ඇති. මේ වගේ දවස් දෙක තුනක් ඉරි කෑලි දෙක අඳින්න ඕන.... මේකෙ මෙන්න මේ රවුම් පැත්තෙ ඉඳල පටන් ගන්න තියෙන්නෙ.... සැර අඩු සහ සැර වැඩි කොටස් දෙකක් තියනව.... ඒ නිසා සතුන්ට මේකට හුරු වෙන්න බෑ.... මේක ඇන්දට පස්සෙ අවුරුදු දෙකක් තියනව.... කූඹින්ට, කැරපොත්තන්ට, හූනන්ට, සහ මකුළුවන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්...."

ඔන්න ඔහොම ලෙක්චර් එකක් දීල කට්ටිය අතට බාන්ඩෙ දුන්න. මිල ඇහුවම තමයි තරු පෙනුනෙ....

"මහත්තයා මේක ඉන්දියාවෙන් ගේන්නෙ.... ලංකාවෙ සුපර් මාකට් වලින් ගන්න පුළුවන් මාස දෙක තුනකින්.... රුපියල් පන්සියක් වෙනව.... හැබැයි හඳුන්වාදීමේ මිල විදියට අපි අද ගන්නෙ රුපියල් තුන්සිය හැටයි!"

ඔන්න දහ දොලොස් දෙනෙක් ගත්ත. දවස් කිහිපයකට පස්සෙ මම ඇහුව කස්ටියගෙන් ගුන අගුන.

"වැඩක් නෑ මල්ලි,... අර තිස්පහට ගන්න චෝක් එක ඊට හොඳයි...."

*******************************************************************

ඔන්න ආයෙත් දවසක ආව නෝන කෙනෙක්. නෝනලාට හෙයාස්ටයිල් දාන්න. එක නෝන කෙනෙකුට හෙයාස්ටයිල් එක දාල මොකද‍ෝ කටුවක් ගහල තමයි වැඩේ ෆිනිෂ් කලේ. එයා කරන්නෙ ඒ කටුව විකුණන එක තමයි :-)
කටුවක් තුන්සීය ගානක් වෙනවලු!

*******************************************************************

මම කොළඹ ඔපීසියෙ ඉන්න කාලෙ ආව බුවෙක් මදුරුවන් එලවන ගැජමැටික් එකක් අරගෙන. මිනිහගෙයි සතුන්ගෙයි සංඛ්‍යාත පරාස ගැන "අපි නොදන්න" දේශනයක් එහෙම කරල අපට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඇහෙන ශබ්දයකින් මදුරුවන් පලවාහරින ගැජමැටික් එකක් විකුණගත්ත. දවස් කිහිපයකට පස්සෙ කස්ටිය කෑම කන වෙලාවෙ ගැජමැටික් එක ගත්ත නෝන කෙනෙකුගෙන් මම ඇහුව ගුණ අගුණ.

"මම ගිහිල්ල කරන්ට් එකට ගහල තිව්ව..... ඇත්තටම මදුරුවො එන්නෙ නෑ බං"

පස්සෙ කට්ටිය නැති තැනක මම ආයෙත් ප්‍රශ්නෙ ඇහුව.

"කට්ටිය හිටිය නිසා කිව්වෙ නැත්තෙ.... ඒකෙන් වැඩක් නෑ බං.... මදුරුවන්ට මොකුත් වෙන්නෙ නෑ.... මහත්තයත් බැන්න හොරුන්ට අහුවෙනව කියල!"

******************************************************************

රැවටෙනබල් මිනිස්සු වැඩිපුර ඉන්න තාක් මේ වගේ හොර වැඩ නවත්තන්න බෑ ඉතිං. රැවටීම එන්නෙත් එක එන විදියට.

✌ මේ මිනිස්සු අල්ලන්නෙ මිනිස්සුන්ගෙ දුර්වලම තැනකින්. උදාහරණයක් විදියට කූඹි, කැරපොත්තො, හූනො කියන්නෙ අන්තිම වධකාර සත්තු ජාති ටිකක්. උන් නැති කරගන්න 'ඕන දෙයක්' කරන්න ලැහැස්ති පිරිසක් ඉන්නව. තට්ටව පෑදිච්ච එකා කැමතියි මොන විදියෙන් හරි කොන්‍ඩය වවාගන්න. සුදුකබර හැදෙනව කියන්නෙත් මානසිකව සෑහෙන්න වැටෙන කෙසේ එකක්. සුදුකබර නිට්ටාවට හොඳ කරනව කියන ගොඩ වෙද්දු පොහොසත් වෙන්නෙ ඒකයි. නෝටි ඇමරිකා බලල තමුන්ගෙ ජුන්ඩ පොඩියි කියල හිතන කොලු ගැටව් ජුන්ඩ ලොකු කරගන්න බෙහෙත් තියනව කිව්වම රවටන්න ලෙහෙසියි.

✌ විවිධ ක්‍රම වලින් එන්නෙ. 'දඬුවම් මුදලාලි' නැත්තං 'සක්විති' කියන්නෙ ලංකාවම රවටපු මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නට අහුවෙලා රැවටුනාට පස්සෙ ඒ ව්‍යාපාරයම 'පැනෝරා' කියන නමින් ආවෙ වෙනත් මුහුණුවරකින්. ඇඩ් එකක් ක්ලික් කරන්න කියල ලස්සනට මිනිස්සු අන්දන්න එයාල සමත්වුනා.

✌ ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගැනීම. ආයතනයකට ඇවිල්ල එකෙකුට කියනව "අහවල් එකෙන් දහයක් ගත්තොත් ඔයාට එකක් නොමිලේ දෙනව" කියල. ඇතුලෙ ඉන්න එකාගෙ ඔලුව වැඩ කරන්නෙ නිකං ලැබෙන දේ ගන්නෙ කොහොමද කියල. එයාල අතිනුත් දාල යාළුවන්ව අන්දනව.

✌ ප්‍රසිද්ධ නාම පාවිච්චි කරනව. අහවලත් මේක පාවිච්චි කරනයව. බොරු නං අහල බලන්න. කවුරුවත් අහන්න යනවයැ!

*****************************************************************

මේ ජාතියෙ බුවාලගෙන් බේරෙන්න පොඩ්ඩක් මොලය වෙහෙසුවම ඇති.

❂ සුළු ලාභය ගැන නොතකා ඇත්තටම මේහෙම සීන් එකක් වෙන්න පුළුවන්ද කියල හිතල බැලීම.

❂ 'අනෙකාට කෙලවුනත් මම ගොඩ ගිහිල්ලනෙ' කියන චින්තනයෙන් මිදීම.

❂ පිලිගත් ආයතන වලින් පමණක් මිලදී ගැනීම් සිදුකිරීම.

❂ අලුත්ම දේවල් එකවරම ගන්නෙ නැතිව පොඩ්ඩක් කල් බැලීම.

❂ යමකට රැවටුනොත් ලැජ්ජාව පැත්තකින් තියල අනිත් එවුන් දැනුවත් කිරීම. මේ තියෙන්නෙ ඒවගේ තැනක් ගැන දැනුවත් කිරීමක්.

Tuesday, July 28, 2015

බස් ගාමිණීගෙ මාළු නටන පොරටෝක් සහ......

කාලෙකට පස්සෙ බස් ගාමිණිය සෙට්වුනා. බස් ගාමිණී කියන්නෙ කාලකට ඉස්සර ලක්ෂ පනහක ටිකට් එකක් ඇදිච්ච අපේ ගමේ ගාමිණීට. ටිකට් එකෙන් ලැබුන සල්ලි වලින් පොර ඉස්සෙල්ලම කලේ කබල් බස් එකක් ගත්ත එක. එදා ඉඳල තමයි නිකං ගාමිණී බස් ගාමිණී උනේ. ටිකට් එක ඇදුන ගමන් ලෝකෙ පෙරලන ප්ලෑන් හිතේ තිබුනට බස් එක වගේම අතේ තිබුන සල්ලිත් අවුරුද්දක් දෙකක් යද්දි පොරගෙ අතේ ඉතිරිවුනේ නෑ. කලින් අපි එක්ක සෙට්වුන බස් ගාමිණිය ටිකට් එක ඇදුනට පස්සෙ ආශ්‍රය කලේ මෝලෙ සුදු මහත්තය ව‍ගේ දලකාරයො. ගල් වෙනුවට බිව්වෙ විස්කි.

ඔන්න හැන්දෑ වෙලාවක අපේ පාටියකට ගාමිණියත් සෙට්වුනේ අනාරාධිතව. බෝතලෙන් කට කපල වීදුරු දෙකතුනක් දාගෙන අපේ කතාවට සෙට්වුනා. ඒ වෙද්දි බෝතලේ අඩිය පේන්න ගත්ත නිසාත් කට්ටියට බඩු මදි නිසාත් පොඩි කලෙක්ෂන් එකක් දාල ආයෙ ටවුමට යන්නයි ලෑස්ති වුනේ.

"මගේ ලඟ නං සල්ලි නෑ කොල්ලනේ උඹල දන්නවනෙ!" බස් ගාමිණී එහෙම කියල ශේප්වුනා. අවුලක් නෑ, බෝතලේට ගාන එකතුවුන නිසා තව එකක් ගෙනාව. ඒක ඉවර වෙද්දි පදමට වැදුන ගාමිණීට තව ඕනවුනා.

"මචං තව එකක් ගෙනෙල්ල..... ආ..... ටවුමෙන් කොත්තුවකුත් දාගෙන වරෙල්ල" ගාමිණී කිව්ව.

"කෝ... දියං සල්ලි එහෙනං...." ධර්මෙ අයිය ගාමිණී දිහා බැලුව.

"හරි මම ගෙදර ගිහිල්ල සල්ලි ගේන්නං බං....එතකල් තියන එකෙක් ගෙනෙල්ලකො" ගාමිණීගෙ කතාවට මහතුං මාමට මල පැන්න.

"ගාමිණී, දැං ටිකකට කලින් උඹ කිව්වනෙ සල්ලි නෑ කියල..... එහෙනං මේකට උත්තර දීපං...."

"මොකද්ද?"

"ඉස්සෙල්ල බෝතලේ ගේන වෙලාවෙ උඹ කිව්ව සල්ලි නෑ කියල.... දැං කියනව ගෙදර ගිහිං ගේන්නං කියල,... එතකොට උඹ ඉස්සෙල්ල සල්ලි නෑ කිව්වෙ බොරුවටද? නැත්තං දැං සල්ලි ගේන්නං කියන්නෙ බොරුද?"

"අන්න හරි මහතුං මාමෙ, දීපංකො එහෙනං උත්තර!" ඒ රුවන් මල්ලි.

කොහොමිං කොහොම හරි එක එකා ලඟ තිබුන සල්ලි ටික එකතු කරල රුවන් මල්ලි ගෙනා බාගෙත් ගැහුව. ඒ වෙද්දි කට්ටියටම හොඳ ගනං. ඊට පස්සෙ ලඟදි බඳින්න ඉන්න රුවන් මල්ලිගෙ වෙඩිම ප්ලෑන් කරන හැටි කතාකලා. ගාමිණියටත් හොඳ ගනං.

"රුවන් මල්ලී..... උඹේ වෙඩිමට හනිමූන් යන්න මගේ ගානෙ කාරෙකක් දෙනව.... උඹ හොඳ එකා බං...." ගාමිණී කියවනව. උගේ කතාවට රුවනට තදවුනා.

"මේ ගාමිණී අයියේ....^%$කතා කියන්නැතුව ඉඳපං.... අක්කගෙ මගුල වෙලාවෙ උඹේ බස්එකේ හෝටලේට ගිහිල්ල උඹ අපේ බෙල්ල කපල ගාන ගත්ත හැටි මතක නැද්ද? උඹට දීපු සල්ලි වලින් අපට බස් දෙකක් ගන්න තිබුනෙ නැද්ද &^$? උඹේ ලඟ සල්ලි තියන කාලෙ උඹ අපිට සලකපු හැටි අමතකයි කියල හිතුවද? කාර්බාර් දෙන්න කතා කලාට දැං උඹේ ලඟ තියෙන්නෙ &$&# විතරයිනෙ බං?"

රුවන් මල්ලිගෙ කතාව දුර යනව වැඩියි වගේ නිසා අපි වැඩේ ශේප් කලා. එක එක කතා අස්සෙ එක සැරයක් මගේ කතාවට ගාමිණිය කිව්වෙ මෙහෙමයි,

"රාජ් මල්ලි උ‍ඹලට නං මොකද.... පඩි වැඩිවුනා.... මහින්ද මහත්තය ආවම තව විසිපන්දාහක් දෙනව කිව්ව.... රුවන් මල්ලිටත් හොඳයි ඉතිං බඳිනකොට ලක්ෂ දෙකක් ලැබෙනවනෙ...."

ගාමිණිය අපිට කලින් යන්න ගියා. හැබැයි කට්ටිය මෑන් ගැන අප්‍රසාදයෙන් තමයි කතා කලේ.

"ඌට ටිකට් එක ඇදිච්ච දවස්වල ඌ අපේ පැත්ත බැලුවෙ නෑ.... දැං ඉරහඳ දෙන්න කතාව!" යන්න නැඟිටල මහතුං මාම කිව්ව.

Thursday, July 23, 2015

පරෙස්සම!

නගරයෙ ඉන්න මනුස්සයෙක් ගමේ ඉන්න තමුන්ගෙ හොඳ යාළුවෙක් මුනගැහෙන්න ගියා. ගමට ආවට පස්සෙ ඉතිං ගමේ අත්දැකීමක් වෙච්ච දඩයමේ යන්න මෑන්ට ඕනවුනා. දඩයමේ යන්න කලින් ගමේ යාළුව අරූට මෙහෙම උපදෙසක් දුන්න.

"උඹ ආවට කමක් නෑ.... මොන දේ උනත් සද්ද කරන්න එපා.... එහෙම උනොත් දඩයමක් කරගන්න ලැ‍බෙන්නෙ නෑ"

ඔය උපදේශයෙන් පස්සෙ දෙන්න එක්ක කැලේ ටික දුරක් ගියා. ගමේ යාළුව ඉස්සරහින් යනව තුවක්කුවත් මානගෙන. නගරෙ එකා පස්සෙන් යනව. ටික දුරක් ගියා විතරයි නගරෙ යාළුව කෑගහන්න ගත්ත. යාළුවගෙ දෝශාරෝපනයට උත්තරේ විදියට එයා කිව්වෙ මේකයි.

"මචං, මම උඹ කියපු විදියට සද්ද කරන්නෙ නැතුව ආවෙ.... උඹ දන්නෑ බං.... අපි ටිකක් එද්දි කොටියෙක් කුරුමානං අල්ල අල්ල මගේ පස්සෙන් ආව මම කෑගහන්නෙ නැතුව හිටිය, තව ටිකක් එද්දි පොළ‍ෙඟෙක් පැන්න කකුලට දෂ්ඨ කරන්න.... මම ඒත් කෑගැහුවෙ නෑ.... දැං ටිකකට කලිං පොඩි ලේන්නු දෙන්නෙක් මගේ කලිසම අස්සට රිංගල කතාවෙනව.... එකෙක් කියනව දැං කමු කියල අනිත් එකා කියනව ගෙදර ගෙනිහිං කමු කියල.... උඹ කියනව කෑගහන්නෙ නැතුව ඉඳපං කියල!"

**********************************************************

ඔන්න තවත් ගමේ යාළුවෙක් නගරෙට ගියා. දඩයමටත් වැඩිය බරපතල වැඩකට. ඒ යාළුවටත් උපදෙස් ලැබිල තිබුන 'පරෙස්සම් වෙන්න' කියල. නමුත් හරිගියේ නෑ. මෑන් අන්තිමට කිව්වෙ මෙහෙමයි.

"උං ඉස්සෙල්ලම මගේ රජකම ගත්ත.... ඊට පස්සෙ මල්ලිලා ලඟයි පුතා ලඟයි තිබුන යුවරජකම් ගත්ත..... මහඇමතිකම ගන්න කියල හදනකොට ඒකත් දෙන්නෙ නෑ කිව්ව.... අන්තිමට මගේ බෝල දෙකත් ගන්න හැදුව ඕයි.... උඹල කියනව මෙතන රාජතාන්ත්‍රික වෙන්න කියල!"

Monday, July 20, 2015

ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ....

"ඔන්න එක ගොවිපලක හිටිය කුකුලෙක් කාලයක් තිස්සේ ගනන් බලල තිබුනලු උදේ නවය වෙද්දි තමුන්ගෙ උදේ කෑම එක ලැබෙනව කියල. මේක කුකුලා කාලයක් තිස්සෙ තමුන්ගෙ අත්දැකීම් වලින් ගොඩනඟාගත්ත උපකල්පනයක්. නමුත් එක දවසක් උදේ නවය වෙද්දි කුකුල හිටියෙ පෝරණුවක් අැතුලෙලු"

මේ ලියන්නෙ දුකා දාපු මේ ලිපිය කියෙව්වම මට හිතුන දෙයක්.
ජවිපෙට ඡන්දෙ දෙන්න කියල ඉල්ලන්න දුකා පෙන්නන එක හේතුවක් තමයි 88-89 කාලෙ සිදුවුන ඝාතන මතක් කිරීම. මේක හුඟ දෙනෙක් කරන දෙයක්. දුකා ඡන්දෙ දෙන්න කියන ජවිපෙටත් මේ චෝදනාව ඒ විදියටම අදාල බව ඡන්දෙ කාලෙ ඇලවෙන පෝස්ටර් වලින්, ශෙයා වෙන බැනර් වලින් වගේම මිනිස්සුන්ගෙ කතා වලිනුත් තේරුම් ගන්න පුළුවන්. යූඇන්පිය ජවිපෙට ගහන්නත් ජවිපෙ යූඇන්පියට ගහන්නත් 88-89 ‍සිද්ධි මතක් කරනව. අනිත් පැත්තට මේ දෙගොල්ලටම බැටේ දෙන්න ශ්‍රීලනිපයත් මේව ප්‍රයෝජනයට ගන්නව. කොහොමත් හබන් කුකුල්ලු තමයි වැඩිපුර වාසි ගන්නෙ.

88-89 කාලය අමතක වෙන්න තරම් බබ්බු වැඩිහිටියන් අතර ඉන්නව කියල සහ ඒ කාලෙ තිබුන තත්වය අවබෝධ කරගන්න බැරි තරමට සාක්ෂරතාවය දුර්වල පසු පරම්පරාවක් ඉන්නව කියල මම නං හිතන්නෙ නෑ. කොටින්ම මේව අපි හොඳට දන්න කියන කාරණා. බටලන්දෙදි රනිල් කලා යයි කියන දේවලුත්, ඒ කාලෙ මහින්ද රාජපක්ෂ සහ එජාප/ශ්‍රීලනිප වල ඉන්න සමහරු කල කී දේවලුත් නොදන්න අයට වැඩිය දන්න අය වැඩියි. ඕව ආයෙ වහෙං ඔරෝ කියන්නවත් හංගන්නවත් දේවල් නෙවේ.

හැබැයි එකක්, අතීතයේ සිදුවුන දේවල් ඒ ආකාරයෙන්ම සිදුවේයයි සිතීම තරම් මුලාවක් තවත් නෑ. නමුත් හුඟ දෙනෙක් කැමතියි අතීතය දිහා බලාගෙන අනාගතය පුරෝකතනය කරන්න. අන්න එතන තමයි මට අවුල් තැන.

අපි හොඳින් දන්න කියන කාරණා දෙක තුනක් අ‍රගෙන බලමු ඔය දේවල් ඒ විදියටම සිදුවෙනවද කියල.
මම අහල තියන හොඳම ජාතියෙ මිත්‍යාවක් තමයි 'සමානුපාතික ඡන්ද ක්‍රමය පැමිණියාට පසු (මැතිවරණ) පාදඩකරණය ආරම්භවූ බවත් ක්‍රමය වෙනස් කිරීමෙන් ආයෙත් පැරණි තත්වයට යන්න පුළුවන්' බවත්. පාදඩකරණයේ ආරම්භය සමානුපාතික ක්‍රමය වෙන්න පුළුවන්, නමුත් ආයෙත් කොට්ඨාස ක්‍රමයට ගියා කියල 77 නවත්තපු තැනට යන්න බෑ. එහෙම කරන්න නං කාල යන්ත්‍රයක නැඟිල යන්න වෙනව.

ජවිපෙට එජාපයට එල්ල වන භීෂණ චෝදනාවත් ඒ වගේ. එජාප ආණ්ඩුව කාලෙ තරුණ කැරැල්ලක් ඇතිවෙලා ඒක දරුණු විදියට මර්ධනය වීමේ ප්‍රතිපලය තමයි අපි ඒ කාලෙ දැක්කෙ. එහෙම උනා කියල ආයෙත් එජාප රජයක් ආවොත් ඒ විදියටම කටයුතු සිදුවේදැයි කියන්න හැකියාවක් නෑ.

තව එකක් බලමු. මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ මහලේකම් තනතුරෙන් අයින් වෙලා ජනාධිපතිවරණයට එද්දි ප්‍රති පාර්ශවය කියපු කතාවක් තමයි 'ශ්‍රීලනිපයෙන් මහ ලේකම්ලා මෙච්චර ප්‍රමාණයක් ගිහිං තියනව. ඒ අයට අත්වුන ඉරණම මේකයි' වගේ කතා. බැලුවම ඒ කතන්දර ඇත්ත. ශ්‍රීලනිපයෙන් ගිය ලේකම්ලා ගොඩගිහිං නෑ එකෙක්වත්. නමුත් මෛත්‍රීපාල ඒ රටාව මකාදමන්න සමත්වුනා.

මහින්ද රාජපක්ෂගෙ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරන්න කලින් කියවුන කත‍ාවක් තමයි 'ගරිල්ලා සටන්කරුවන් යුධමය වශයෙන් පරාජය කල රටක් නෑ' කියන එක. නමුත් 2009දි ඉතිහාසය වෙනස් වෙච්ච හැටි දකින්න අපට පුළුවන් වුනා.

මේ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ අතීතයෙන් අනාගතය ඔය විදියට සරළව ගොඩනඟන්න බැරිවීම. හේතුව තමයි අතීතයත් වර්තමානයත් අතරතියන ආර්ථික-සමාජ-සංස්කෘතික වෙනස්කම්.

පහුගිය දවසක මේ වගේම රටාවක් දැක්ක T20 ලෝක කුසලාන ගැන. 2009 අවුරුද්දෙ ඉඳල බැලුවම එන්නෙ මෙහෙමයි,

2009 තරග තිබුනෙ එංගලන්නෙදි, ශූරතාවය දිනුවෙ පාකිස්තානය,
2010 තරග තිබුනෙ කොදෙව් වල, ශූරතාවය දිනුවෙ එංගලන්තය,
2012 තරග තිබුනෙ ලංකාවෙ, ශූරයො උනේ කොදෙව්වො,
2014 තරග තිබුනෙ බංගලිදේසෙ, ශුරයො ලංකාව,

එතකොට මේ රටාව අනුව කලින් වතාවෙ තරග පවත්වපු රට තමයි ඊලඟ වතාවෙ දිනන්නෙ. ඒ කියන්නෙ 2016දි ඉන්දියාවෙදි ශූරයො වෙන්නෙ බංගලියොද?

ප.ලි: සමහර විට(මම යූඇන්පී කාරයෙක් කියල) වැරදි වැටහීම් ඇතිවිය හැකි බැවින් මේකත් කියන්න ඕන. මෙදා මගේ ඡන්දයත් ජවිපෙට දෙන්නයි වැඩි ඉඩක් තියෙන්නෙ. එජාපයට නොදී ජවිපෙට දෙන්න හේතුව එජාපය පැත්තෙන් පහුගිය (දින සීයද එකසිය හැටද) කාලෙ සිිදුවුන වැරදි මිසක් 88-89 වැරදි නිසා නං නෙවේ. ජවිපෙට දෙන්නෙත් ඒ කාලෙ කෝන්තර නිසා නෙවේ.

Wednesday, July 15, 2015

අපායෙ ඉන්ටවීව් එක.....

"ස්....ස්.....ස්....."

සූ සද්දෙ ඇහෙද්දි, දිව්‍ය ලෝකෙ බටහිර කෙලවරට වෙන්න, කල්ප වෘක්ෂයට පිටදීල කකුලක් නවල ඒකටම තියාගත්ත මාතලී කේජී කෑල්ලක් ඔතාගෙන දුම් උගුරක් දෙකක් ඇද්ද විතරයි. ශක්‍ර වෙහිකල් එකත් මාතලීව කවර් වෙන විදියට කල්ප වෘක්ෂය යට පාක් කරල තිබුන. කල්ප දහයකට විතර උඩදි කිරිමුහුද කලඹපු වෙලේ ලබාගත්ත කංසා ටික ඉවර වුනාට පස්සෙ ඊට ටිකක් විතර සමාන බඩු හොයාගත්තෙ මෑතක, ශක්‍රයත් එක්ක නර ලොවට ගිය දවසක. දිව්‍ය ලෝකෙ පාටියකට පස්සෙ නර ලෝකෙට ගිහිල්ල, දිව්‍ය සුරා සහ නර සුරා ටිකක් කලවං වෙච්ච දවසෙ වාහනේ හප්පගත්ත නිසා සුරාපානය කල්ප දෙකකට තහනම් වෙච්ච දවසෙ ඉඳල මාතලීගෙ දුම් ඉරිල්ල ටිකක් වැඩියි.

කල්පනා ලෝකෙ ගිලිල ඉන්න වෙලේ සද්දෙ දාල ආතල් කඩන්නෙ මොකාද කියල බැලුවමයි දැක්කෙ, අපාය පැත්තෙ පාතාලෙ ඉඳගෙන යම රජා කතා කරනව.

"ඇ ඇයි බොස්?"

"මට උඹලගෙ ශක්‍රය මුනගැහෙන්න ඕන,.... එන්න කියපං අපායට"

***********************************************************************

"‍මේකයි මචං කාරණේ, වැඩේ සීරියස්......"

"හරි හරි.... කියපංකො තෙපරබාන්නෙ නැතුව......"

"උඹ දන්නවනෙ ලංකාවෙන් ආපු පොලිටික්කො නිසා අපායෙ ඉඩ මදිවුනා කියල....."

"ඔව් මංමනේ උඹට කිව්වෙ එක එකාලට නවත්ත නවත්ත කාලෙන් කාලෙට පනිෂ් කරන්න කියල? ඉතිං?"

"ඔව් ඔව් බං.... ඊට පස්සෙ මට තේරුනා මුං මොකක් හරි ජල්තර වැඩක් කරල බේරෙනව කියල...."

"ඒ කිව්වෙ.... ටික ටික හරි දඬුවම් ලැබෙන්නෙ නැද්ද?"

"නැත්තෙත් නෑ..... හැබැයි ලෝක අණ්ඩයො සෙට් එකක් ඉන්නව මොකක් හරි හේතුවක් දාල උං හැමදාම කල් ගන්නව..... පොඩ්ඩ ඇත්තං තුවාල වලට බේත් දාගෙන එන්නං කියල මාස ගනං ඉන්නව.... බැලින්නං මුං ඒ කාලෙ ලෝයර්ල විදියට ඉඳල තමයි පොලිටික්කො වෙලා තිබුනෙ.... ඊලඟ ආත්මෙ මනුලෝකෙට ආවම අරව දෙනව මේව දෙනව කියල පොරොන්දු කරගෙන යමපල්ලොත් රවට්ටගෙන" කියපු කතාව කාටවත් ඇහුනද කියල යම රජා වටපිට බැලුව.

"ඉතිං?... දැං මොකද්ද මගෙන් වෙන්න ඕන?"

"මේකයි, ඔය අතරෙ ඉන්න ටිකක් විතර හොඳ එවුන් ටිකක් උඹලගෙ පැත්තට ගත්තොත් මෙතන පිරිස අඩුවෙනවනෙ.... අන්න එහෙම උනොත් මට පුළුවන් මෙතන පාලනය කරගන්න...."

"බෑ බෑ බෑ! ඒ ව‍ැඩේ කරන්න බෑ කොහොමවත්ම! පව්කාරයො අපේ පැත්තට අරගන්නෙ කොහොමද?"

"අනේ බං මම ගැනත් පොඩ්ඩක් හිතපංකො! මම කොහොමද මෙතන වැඩක් කරගෙන යන්නෙ. මෙහෙම කරපං..... ඉන්ටව් එකක් කරල ටික දෙනෙක් ගනිං....ලොකු උදව්වක් මචං.... උඹේ පුටුවට එන්න වලිකන දිව්‍ය පුත්‍රයෙක් එහෙම හිටියොත් ඌට තගක් එහෙමත් දාන්නං ඕනනං......"

"හරි එහෙනං මම වෙලාවක ඇවිල්ල කට්ටියක් අරගෙන යන්නං....."

******************************************************************

"කට්ටිය පෝලිං ගැහිල ඉන්න....පෝලිං ගැහෙවලා කිව්වම අහල.... එක එක්කෙනා යන්න.... කවුද ඔය පෝලිම පයින වේසිගෙ පුතා.... ‍කැරිය දැනගනිං මේක අපාය.... පෝලිමේ පලයල්ල...."

"හරි ඔය ඉස්සරහ එක්කෙනා එවනව..."

"හරි.... කියන්න බලන්න මන්ත්‍රී කෙනෙක් විදියට තමුන් කල හොඳ වැඩ?"

"පනිද්දි ගත්ත මිලියන දෙසීයකට බුදුවෙන්න හාමුදුරුවනේ..... මම කොච්චර නං හොඳ වැඩ කලාද?"

"හරි හරි ඉතිං කියනව බලන්න"

"මම මන්ත්‍රී වෙලා ඉද්දි කී දෙනෙකුට නං රස්සා දුන්නද හාමුදුරුවනේ.... සිය දාස් ගානකට දෙන්න ඇති!"

"හරි! තව මොනවද?"

"රස්සා දුන්න, මාරුවීම් දුන්න, ළමයි ඉස්කෝලවලට දාන්න ලියුං දුන්න......"

"හරි හරි ඔය මදෑ.... පිං අතේ වැඩ ටිකකුත් කරල තියෙන්නෙ, හරි මෙයා අපේ පැත්තට යවන්න.... ඊලඟ එක්කෙනා එවන්න"

"හාමුදුරුවනේ මාත් සෑහෙන්න වැඩ කලා....රස්සා දුන්න, පාලං බෝක්කු හැදුව, පාරවල් හැදුව....."

"හරි හරි මෙයත් යවන්න....ඊලඟ......"

"මාත් කරපු තරමක් හොඳ වැඩ තමයි කලේ බොස්.... සරදියෙල් වගේ දුප්පතුන්ට සල්ලි දුන්න, කොල්ලන්ට ත්‍රීවිල් දුන්න, පන්සලට පල්ලියට කොච්චර නං දුන්නද...."

"ඇති ඇති.... යකෝ හොඳ මිනිස්සුනෙ මේ අපායට දාල තියෙන්නෙ? ඊලඟ....."

"ශක්‍ර තුමෝ මම කරපු වැඩ කවුරුවත් කරන්න නැතුවැති.... රස්සා දුන්න, පාරවල් හැදුව, ගෙවල් හැදුව, මිනිස්සුන්ට කන්න බොන්න දුන්න ඇතිවෙන්න, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දුන්න, වංගියක් බුද්ධාගම බේරගන්න ගිහිල්ල තව පොඩ්ඩෙං කෝට එක ඉවර වෙන්නත් කලිං මෙහාට එනව....."

"හරි හරි.... මෙයත් යවන්න..... ඊලඟ....."

................................

"ඊලඟ......"

...............................

"ඊලඟ......."

"මොකද තමා ඇඹරෙන්නෙ.....මොකුත්ම කරල නැද්ද?"

"පස්වාන් දහසකට බුදුවෙන්න හාමුදුරුවනේ..... මම නීතියට පිටිං ගිහිල්ල මගේ මිනිස්සු රස්සාවලට දැම්මෙ නෑ.... ඉස්කෝල වලට ළමයි දාන්න ලියුං දුන්නෙ නෑ,... පාලං බෝක්කු වලින් කුට්ටිය ගත්තෙ නෑ..... "

"තමුන් මොකුත් කරල නෑනෙ බැලුවම..... මෙයා තියාගන්න මෙහේම....ඊලඟ"

"දේවයන් වහන්ස මම බොරු පොරොන්දු දුන්නෙ නෑ.... කොමිස් ගත්තෙ නෑ.... රජයේ සේවකයන්ට බලපෑම් කලේ නෑ.... තව එතකොට ප්‍රතිපත්ති හැදුව, නීති සම්පාදනය කලා, මුදල් පාලනය කරන්න උදව් කලා...."

"මදි මදි මදි..... බොහොම මදි.... තමුන් කාටවත් උදව් කරල නෑනේ....මෙයත් එපා අපිට ගැලපෙන්නෙ නෑ....."

......................................

"ඔන්න යමයෝ උඹේ කරදරේ ඉවර කලා..... දැං හරිනෙ....."

"ඕකේ මචං.... ගානට වැඩේ දුන්න.... මේ උදව්ව මම අමතක කරන්නෙ නෑ කවදාවත්..... යන්න කලිං යම ස්පෙෂල් චුට්ටක් ගමුද? මහන්සිත් ඇතිනෙ....."

*********************************************************

"මාතලී කවුද අර කලබලෙන් මේ පැත්තට දුවගෙන එන්නෙ? ආ..... මේ.....ස්කන්ධ නේද? මොකද කොල්ලෝ කලබලෙන් වගේ?"

"බොස් මෙදා අපි ඔක්කොම ඉවරයි බොස්!"

"ඇයි ඇයි මොකද වෙලා තියෙන්නෙ?"

"මනු ලෝකෙ ඉන්න පොලිටික්කන්ගෙන් බේරෙන්න බැරුව මම මෙහේට වෙලා ඉන්නව....ඔබතුමා අපායට වැටිච්ච එවුන් මෙහාට එව්ව.... අන්න උං සැට් එක ආපු ගමන් සුරාව බීල දිව්‍යාංගනාවො දෙතුන්සීයක් දූෂණය කරල සතුට සමරන්න ඔබතුමාගෙ ආසනෙත් වාඩිවෙලා....."

"මො මොනවා......"

"ස්කන්ධ..... ගේන්න වතුර ටිකක්.... බොස්ට සිහිනැතිවුනා වගේ....."

Tuesday, July 7, 2015

යහපාලන සන්ධානය [සුජීව කොකාවල]

ජාතික හෙළ උරුමය විසින් ගොඩනඟන නව සන්ධානය පිළිබඳ සුජීව කොකාවල විසින් වත්පොතේ තැබූ සටහනකි මේ.

යහපාලන සන්ධානය මහලොකු දේශපාලන ප්‍රවාහයක් නොවේ. තනිව ඉල්ලා ආසනය දෙක ගන්නා කණ්ඩායම් කීපයක් එකතු වී ඇත. එහෙත් ඔහුන් වර්තමාන දේශපාලනයේ පුරවන හිඩැස විශාලය.

මෛත්‍රීගේ ජයග්‍රහණයට වචන දෙතුන් සීයක් නාස්ති කලේ රනිල්ට බලය දෙන්නට හෝ මහින්ද යළි කැඳවන්නට නොවේ. ඒ එක්ස්පයර්ඩ් දේශපාලන විනාශයන් දෙකට තෙවැනි බලවේගයක් සපයන්නටයි. මෛත්‍රී චන්දය ඉල්ලද්දීත් ඒ හිඩැස තිබුණි. එය පුරවන්නට "පවතින දේශපාලන ක්‍රමයට" අංශක අනූවකින් හැරුණු ජවිපෙට බැරිය [ජවිපෙ යනු අප වෙන දෙන්න එකක් නැතිවිට අපේ චන්දය අපතේ නොයවන්න ගහන අපේ කේන්තියෙ ප්‍රකාශනයක් පමණි]. ජයගත් මොහොතේ මෛත්‍රීට ඒ සඳහා ඉඩ තිබුණු නමුත් ඔහු දිගටම එජාපය රැකීමට හා ශ්‍රීලනිපය වැනසීමට කටයුතු කළේය. එවැනි තත්වයක බලතුලනය උදෙසා රනිල් නොකවුට් කිරීම සහ මහින්ද නැවත ගෙන්නීම හැරෙන්නට ශ්‍රීලනිපයට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැත. අද මහින්ද එක්ක නැගිටින්න යන ශ්‍රීලනිප නායකයින් එදා ඔහුට බායි කියූ අයයි. ඒ වෙනස කලේ ජයග්‍රහණයෙන් පසු මෝඩ දේශපාලන කුනුමුලු වල කීමට මෛත්‍රී කල බූරුවැඩ නිසාය. ඒ කතාව අපි සිය දහස් වරක් කීවෙමු [කොච්චාර කිව්වත් ඒ හානිය ඉවර වන්නේ නැති එක වෙනම එකකි]. එහෙත් යහපත් දේශපාලනයකට ලංකාවේ පවතී හිඩැස එසේම පවතියි.

යහපාලන සන්ධානය හැරෙන්නේ කොහාටද යන්නෙන් මේ දැවැන්ත හිඩැස පිරවීමට ඔවුන්ගේ ශක්‍යතාවය ගැන අපට කියවීමක් ලැබෙනු ඇත. එය ජාතික හෙළ උරුමය සහ චම්පික රණවක යන ජාතිකවාදී සම්ප්‍රදාය තුල ගිලේ නම් එයට මේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කල හැකි නොවේ. එහෙත් ඒ ප්‍රවාහයට මාක්ස්වාදය ජාතිකවාදය වැනි පටු රාමුවක සිර නොවී, ඇත්තෙන්ම යහපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මෛත්‍රීට චන්දය දුන් පිරිස පොදුවේ එකතු කරගත හැකිනම් මේ හිඩැස පිරවීමට දීර්ඝ කාලින හැකියාවක් පවතියි. මේ පිරිසේ ලොකු කුට්ටිය පක්ෂයක් නොමැති එහෙත් යහපාලන අවශ්‍යතාවය දකින පාවෙන චන්ද දායක ප්‍රජාවයි.

දිගින් දිගටම කතාකරන යහපාලනයක අවශ්‍යතාවය වෙනුවෙන් සැදුනු දේශපාලන හිඩැස විශාල එකකි. එය කෙතරම් විශාලද යන්නට මට දිය හැකි හොඳම උදාහරණය නම් මහින්දගේ රජයේ එක ලෝක හොරෙකු වන බැසිල් අත්අඩංගුවට ගන්නත් පෙර රනිල්ගේ රජයේ එක ලෝක හොරෙකු වන මහේන්ද්‍රන් ගේම දී හමාරය. ඊට ටික දිනකට පසු රනිල්ගේ හොර කල්ලියේ පැරණි හොරෙකු වන රවී නිදහස් විය. මේ ඒ මොහොතේ පැවති දේශපාලන විකල්ප දෙකෙහි හැසිරීමයි.

යහපාලන සන්ධානය මේවා පුරවයිද, චම්පිකගේ ජාතිකවාදයේ ගමනට දායක වන තවත් එක අන්තවාදී කල්ලියක් වේවිද කියා නොදනිමු. එහෙත් ඔවුන් මහලොකු ආසන ගණනක් නොදිනනු ඇත. හෙට දවසට අවශ්‍ය වනුයේ ආසන බරගානක් දිනන තෙම්පරාදු නායකයින් නොව, අලුත් සම්ප්‍රදායක් හදාගන්න පුළුල් දේශපාලන මතවාද පරාසයක සංවාදයකි.

දැනට ඔවුන් තනිව ඉල්ලීම හරහා වර්තමානයේ ඉක්මනින්ම ගෙදර යැවිය යුතු රනිල්ගේ ආසන කුට්ටියෙන් කීපයක් හෝ බා ගැනීම ගැන සතුටු වන්නෙමු [යහපාලන සන්ධානයට මහින්දගේ චන්ද ලැබෙන්නේ නැති අතර මෛත්‍රීගේ චන්ද වලින් එජාපයට යන පාවෙන චන්ද සමහරක් ලැබෙනු ඇත]. එහෙත් යහපාලන සන්ධානය ඉලක්ක කල යුත්තේ ආසන නොව දේශපාලන සම්ප්‍රදායකි. 2015 මහ චන්දය මස්තබාල්දුය. විකල්ප රාශියක් නැත. මේ මොහොත වේදිකාවක් කල යුත්තේ ඉදිරි දශකයේ දේශපාලනයේ පැලැටි වගාවටයි.

මේ පැලැටිය වල් පැලැටියක්ද නැද්ද යන්න පැහැදිලි කිරීම ඔවුන්ට බාරය