Wednesday, April 30, 2014

බිහයින්ඩ් ද ටැක්ස් ඔෆ් කක්කා.....

"හරි, දැං මොකද්ද උඹේ යෝජනාව?"

"මම කියන්නෙ අපිටත් ඕන උඹලට වගේ වැදගත් තත්වයක්.... පුක කියල අපිව පහත් කරනවට අපි කැමති නෑ....අපිත් මනුස්සයො! නෑ පුකවල් යකෝ.... වැදගත් දෙයක් තමයි අපිත් කරන්නෙ"

ඔය කතාබහ ඇතිවුනේ අපේ අතිගරු අහවල් උතුමාණන් වහන්සේ ප්‍රියම්භිකාවත් එක්ක සිනිඳු සයනයේ සුව නින්දක් ලබන අතරෙ එතුමාටත් හොරෙන් රැස්වෙච්ච, එතුමාගෙයි එතුමියගෙයි අවයවයන් වල කතාබහ අතරෙ. කකුලෙන් අහපු පුරස්නෙට පුක දුන්න උත්තරේ තමයි ඒ.

"හරි, දැං උඹ මොකද්ද කරන්න කියන්නෙ?" ඇඟිල්ල ඇහුව.

"මම කියන්නෙ අපි හැමෝගෙන්ම අඩු සැලකිලි තියෙන්නෙ අපේ කට්ටියට" පුක තමන්ගෙ දුක් ගැනවිල්ල කිව්ව.

"උඹ කෙහොමද එහෙම කියන්නෙ?" එහෙම ඇහුවෙ බඩ. කෑමත් ටිකක් වැඩිපුර ලැබිල තිබුන නිසා එයා කතා කලේ අමාරුවෙන් වගේ.

"දැං බලපල්ල මොකක් හරි නොවැදගත් දෙයක් විස්තර කරන්න මිනිස්සුන්ට ඕනවුනාම ගාවගන්නෙ අපි.... ඕන පුකක් කියලයි කියන්නෙ. ඇයි ඕකට කියන්න තිබුනෙ නැද්ද ඕන කකුලක් කියල... නැත්තං ඕන ඔලුවක් කියල.... නෑ අපිවමයි කන්න හදන්නෙ අපිවමයි කන්න හදන්නෙ!" පුක ආයෙත් කිව්ව.

"දැං මොකද්ද උඹලගෙ ඉල්ලීම?" එහෙම ඇහැව්වෙ මෙච්චර වෙලා නිස්සද්දව සිටිය ඔලුව.

"අපි කියන්නෙ අපිටත් බද්දක් ඕන කියල...." පුක කිව්ව.

"මොකක්? උඹලට බද්දක් ගහල මොකද්ද කරන්නෙ? අනෙක උඹලගෙ බදු ගහන්නෙ මොකටද? බද්දයි වැදගත්කමයි අතරෙ තියන සම්බන්දෙ මොකද්ද?" ඇඟිල්ල කුතුහලයෙන් ප්‍රශ්න කලා.

"ඔහොම හිටපල්ලකො කියන්න.... දැං බලපල්ල උඹලගෙ හුඟාක් දේවල් වලට මොකක් හරි බද්දක් තියනව.... ඔලුවට ගත්තොත් ඔලුවට දාන ෂැම්පු වලට, තෙල් වලට, ජෙල් වලට, තොප්පි වලට හෙල්මට් වලට තව කියකට බදු තියනවද?, දැං මේ කකුල ගනිල්ල, සපත්තු මේස් සෙරෙප්පු ගෑනු කකුල්වල මයිල් බාන රේසර්, ක්‍රීම් ජාති වලට කොච්චර බද්දක් තියනවද? වැඩිය ඕන නෑ මේ පුංචියට ඉන්න ඇඟිල්ලට තියන වැදගත්කම බලහල්ලකො! මේ බැඳපු රත්තරං වලටම බද්ද කීයක්ද? උඹල හැමෝටම බද්දක් තිබුනත් අපිට බද්දක් නෑ! ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ" පුක ආයෙ පැහැදිලි කලා.

"උඹ කොහොමද බදු නෑ කියන්නෙ? ඇයි උඹලව වැහෙන්න තියන ජොකාට එතකොට ජංගි වලට බදිදක් තියෙන්නෙ?" කකුල ආයෙත් කිව්ව.

"මගුල! ඒව අඳින්නෙ අපි වහන්න නෙවේ මෙන්න මූයි මේකිවයි වහන්න විතරයි.... වික්ටෝරියානු යුගේ නං පුක වැහෙන්න ජංගි ඇන්දලු..... දැං ගෑනුංගෙ ජංගි වලින් අපි වැහෙන්නෙ නෑ අපි තනිකර එලියෙ බොලව්!" ඒ කතාවට 'ඒකි' හිනාවුනේ සිරස්ව තිබුන එයාගෙ කට වහගෙන.

"හරි හරි උඹේ කතාවෙ ඇත්තක් තියනව කියමු! උඹ කියන විදියට බද්දක් ගහන්නෙ මොකටද?" ඇඟිල්ල ඇහුව.

"අපි කියන්නෙ බොග වලට බද්දක් ගහන්න කියල!"

"හැබැයි ඉතිං බද්දක් ගහනව කියන්නෙ මට තමයි බඩේ පාර වදින්නෙ....කෑමෙන් නෙව ඔක්කොම අඩුවෙන්නෙ" බඩ කිව්ව.

"නෑ නෑ මොනව උනත් අපි මේක කරනවාමයි!..... යකුනේ මේ යෝජනාව සාර්තක කරගන්න අපේ නගරාධිපතිතුමත් පුක දෙනව බොල!" ඒ කීමට කාගෙක් කටවල් වැහුන.
-------------------------------------------------------------------------
ආශ්‍රිත ලිපි : කක්කා ටැක්ස් (මාතලන්)

විශේෂ ස්තුතිය : බ්ලොග් අවකාශයට "පුක" දායාද කල කතන්දරකාරයාට.

Thursday, April 24, 2014

අලවංගු පහරින් මතුවූ ශෝකාන්තය

අසූව දශකයේ අග භාගයයි. එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා, පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය. පියාගේ මුල් නිවසට මීටර තුන්සීයක් පමණ දුරකින් පිහිටි මේ ඉඩම විශාලත්වයෙන් අක්කර තුන් කාලක් පමණ විය. ඔහු එය මිලදීගෙන තිබුනේ ඥාතියෙකුගෙනි.

එහි සිටියවුන් නිවසේ අත්තිවාරම් කැපීමට අදාල සීමාවන් එලිපෙහෙලි කරද්දී මා නිරතවූයේ වෙනත් කාර්යකය. ඒ අසල පිහිටි මඳක් උස් තැනිතලා ස්ථානයක් අලවංගුවෙන් හාරමින් සිටියේ කුඩා මඩුවක් සෑදීම සඳහා කනු සිටුවීමටය. අලවංගු පහර කිහිපයක් ඇන පස් ඉවත් කරමින් සිටියදී සුදු පැහැති තද යම් යම් කැබලි කිහිපයක් මතුවිය. එ්වා අස්ථි කැබලි බැව් හඳුනාගැනීම අපොහොසත් නොවීය. පොලව මතුපිටම වාගේ තිබූ මෙම අස්ථි කැබලි වල රහස සොයාගැනීමේ කුහුලි්න් යුතු මා උදැල්ල ගෙන පස් තට්ටුව ඉවත් කිරීමට පටන් ගතිමි. මඳ වේලාවක ඇවෑමෙන් වලදමා තිබූ සිරුරෙහි හිස් කබල පාදාගැනීමට මට හැකිවිය.

"මෙන්න මිනී ඔලුවක්!"

මගේ හඬ වැඩකරමින් සිටි පිරිස නැවැත්වීමට ප්‍රමාණවත් විය. ඔවුන් සියළුදෙන පැමිණ තවත් නොබෝ වේලාවකින්, සිරුරෙහි වලදමා තිබූ දිශාවන් අනාවරණය කරගතහැකි වනසේ, පස් ඉවත් කලේය. මේ වනවිට නිවසට ගොස් පැමිණි පියාට ඇට සැකිල්ල පෙන්විය.

"ඔතන ඇට සැකිලි දෙකක් තියෙන්න ඕන.... කෝ බලන්න.... මෙන්න මේ හරියෙ හෑරුව නං යකඩ පෙට්ටියක දාපු රුපියල් එකයි පනහකුත් තියෙන්න ඕන...."

ඔහුගේ කතාවෙන් අප විශ්මයට පත්වීමු.

"කවුද තාත්තේ මේ?....... මොනවද ඒ සල්ලි?..... නිධානයක්වත් තියනවද මෙතන.....?"

"ඔය ඉන්නෙ අපේ බාල මුත්ත. ඒ කියන්නෙ අපේ මුත්තගෙ මස්සිනයි ඒ ආත්තයි දෙන්න.... මෙන්න මේ හරියෙ තමයි අර පෙට්ටිය තියෙන්න ඕන....."

මතුකරගත් සිරුරට අඩි දෙකක් පමණ දුර වූ, පියා පෙන්නූ ස්ථානයකට උදළු පහර කිහිපයක් එල්ල කිරීමෙන් පසු කුඩා පෙට්ටියක් මතු කරගැනීමට අපට හැකි විය. පියනක් රහිත වූ එය එක් පැත්තක් අඟල් දෙකක පමණ කුඩා හුරුබුහුටි පෙට්ටියක් විය. ඒ තුල ඝනව තිබූ පස් අතරින් කාසි කිහිපයක් සොයාගැනීමට මට හැකිවිය. විනෝදාංශයක් ලෙස කාසි එකතු කිරීමේ යෙදීසිටි මාහට අනර්ඝ වස්තූන් වූ සත භාගයේ කාසියක්ද එක්දහස් හත්සීය පනස් ගනන් වර්ෂ යොදා තිබූ වීඕසී කාසියක්ද හිමිවිය. අන්තිමේදී ඉතිරි වූයේ අභිරහස පමණි.

"ඔය බාල මුත්ත කියන්නෙ අපේ මුත්තගෙ ඇවැස්ස මස්සිනා.... අපේ මුත්ත වගේම හොඳ යන්තර මන්තර ගුරුකං දන්න කෙනෙක්.... දෙන්නම මන්තර ඉගනගත්තෙ අපේ මී මුත්තගෙන්.... මී මුත්තගෙ නංගිගෙ පුතා තමයි ඔය බාල මුත්ත.... අපේ මුත්ත වගේ නෙවේ බාල මුත්ත ටිකක් නාහෙට නාහන කෙනෙක්ලු..... නිකංම තරහ යනවලු..... එයා තරුණ කාලෙ අම්මයි තාත්තයි මැරිල තියනව.... ඊට පස්සෙ තනියම තමයි අන්න අර ඉසව්වෙ තිබුන ගෙදර ඉඳල තියෙන්නෙ..... "

***********************************************************

කටු මැටි බිත්ති වලින් සාදා තිබූ නිවසක් ඉදිරිපිට මිදුලේ වාඩිවී බුලත් විටක් සපමින් සිටින මිනිසෙකි. බුලත් සැපීමෙන් රක්ත වර්ණ වූ කටද ඇඟ පුරා රෝමයෙන් පිරි සිරුරද ඔහුගේ පෙනුමට එක්කලේ මරුමුස් පෙනුමකි. උරහිසෙහි මස් ගොබයට පහලින් වූ බාහුව තදව වෙලාගත් හුයකින්අමුණා ඇති සුරයකි. ඇඳ සිටි සරමෙහි ඉන ලඟින් මතුවී පෙනෙන පිහිය පුවක් කැපීමට පමණත් නොව ඕනෑම කටයුත්තකට සූදානමිනි. සෙවිලි කල පොල් අතු දිරා යමින් ඇති වහලයද කලෙකින් ගොම මැටි නොදුටු ගෙබිමද තනිකඩ පිරිමියෙකුගේ නිවස මේ යයි කියාපායි.

එක්වරම ඔහුගේ පිටුපසින් මතුවන්නේ තරුණියකි. රෙද්ද සහ සැට්ටයෙන් සැරසී බුලත් විටක් සපමින් පැමිණි අැගේ අතේ පන් මල්ලකි.

"බාලයියේ මෙන්න එදා ගෙනිච්ච හාල් ටිකේ හිලව්ව...." පන් මල්ල ඔහු දෙසට පාමින් අැය පැවසුවාය.

"උඹමනේ ගත්තෙ.... උඹම තියපං....." තරුණිය ගනනකට නොගත් ඔහු පැවසීය.

"හා මෙන්න එහෙනං...." හාල් මල්ල පිල මත තබා ඈ යන්නට හැරුනාය.

"පිල උඩ තිබිල නෙවේනෙ උඹ ඕක ගත්තෙ....."

තම ඇවැස්ස මස්සිනාගේ කවට බස් හමුවේ බොරු නෝක්කාඩුවක් මවාගත් ඈ මල්ල රැගෙන ගෙතුලට පියමැන්නාය. එහෙත් ඇයට ඉන් පිට වීමට නොහැකි වූයේ තම මස්සිනාගේ පැමිණීම හේතුවෙනි. ඔහුගේ ආලිංගනයට අවනත විම හැර විකල්පයක් ඇයට නොවීය.

************************************************************

"බාල මුත්ත ආත්ත එක්ක වැඩිකල් පවුල් කන්න උනේ නෑ.... මිනිහ කේන්තිකාරය.... පොඩ්ඩ බැරිවෙනකොට ආත්තට ගහනව.... හේතුවක් නැතුවත් ගහනව.... ඔන්න හොද්දක් හැදුවොත් ලුනු වැඩියි කියනව.... නැත්තං මදි කියනව.... ඔන්න දවසක් ඔයවගේ සුළු දේකට බාල මුත්ත ආත්තට ගහල ආත්ත මැරුන! අපේ මුත්තට කියල තියනව එන්න කියල..... පරණ ණයක් බේරන්න..... නමුත් කවුරුවත් මුත්තට යන්න දීල නෑ..... මොකද තුවක්කුවත් කොටාගෙන තමයි බාල මුත්ත ඉඳල තියෙන්නෙ.... දෙන්නගෙ පරණ තරහකුත් තිබිල තියනව..... හවස් වෙනකල් බලං හිටපු බාල මුත්ත තුවක්කුව ඔලුවට පත්තු කරගෙන තියනව..... ඒ දෙන්න වලදාල තියෙන්නෙ මෙතන..... බාල මුත්ත වැටිල තිබුන තැන තමයි මේ පෙට්ටියෙ දාපු කාසි ටික තිබිල තියෙන්නෙ..... මිනී දෙක වල දාන්න හදන වෙලාවෙ අපේ මුත්ත අර පෙට්ටියත් වලට විසි කරල තියනව.... අපේ තාත්ත තමයි අ‍පි පොඩිකාලෙ කිව්වෙ මෙතනටයි පෙට්ටිය දැම්මෙ කියල.... පොඩි ගානක්නෙ..... මෙතන වැස්සට හේදිලා තියනව. ඒකයි මෙච්චර උඩින් මේක අහුවෙන්න ඇත්තෙ"

පියා කතාව අවසන් කලේය. පසු දිනෙක ඇටසැකිලි දෙක කොහේදෝ තැනක වලදැමූ බවද මතකයේ ඇත. බාල මුත්තාගේත් ආත්තාගේත් ශෝකාන්තය මෙන්ම කාසි කිහිපයක්ද මා ලඟ ඉතිරිව ඇත.

Monday, April 21, 2014

හම්බන්තොට මත්තල අවුරුදු උස්සවේ සහ ලංකාවෙ පොලීසි තුන

අයිබෝවං! සුභ අලුත් අවුරුද්දක් වේවා! අවුරුද්දෙන් පස්සෙ පටන්ගන්නෙ මේ බ්ලොග් ලිවිල්ලෙ හතරවෙනි අවුරුද්ද.
පහුගිය දවස්වල අවුරුදු උස්සව ඕන තරම් තිබුන. බ්ලොග්කරුවන්ගෙත් උස්සවයක් තිබුනලු. අවුරුදු ක්‍රීඩාත් ඒ වගේ. මෙදා සැරේ අවුරුද්දට තිබුන හොඳම උස්සවේ තමයි හම්බන්තොට-මත්තල ඒකාබද්ධ අවුරුදු උස්සවය සහ ඒ ආශ්‍රිත අයිටම් ටික. එයිනුත් මගේ හිතට ඇල්ලුවෙ අපේ පොලිස් මාජ්ජ ප්‍රකාශක අජිත් රෝහණ නීතීඥ අජිත් රෝහණ මහත්තයගෙ අයිටම් එක. අම්මප අන්න වැඩ!

ඔය නීතීඥ අජිත් රෝහණ මහත්තය පහුගිය දකුණු බස්නාහිර ඡන්දෙට කලින් අපූරු කතාවක් කිව්ව. මෙන්න මෙහෙම,

"පොලීසියට අත තියන්න ලැහැස්ති වෙන්න එපා.... අපි තදින් නීතිය ක්‍රියාත්මක කරනව.... කාගෙවත් තරාතිරම බලන්නෙ නෑ....." බලන්න එපැයි උන්නැහේ එහෙම කිව්ව අපූරුව. යටි තොල අඹරවල කට බර කරල බොහෝම ගාමිභීර විදියටයි කිව්වෙ. ඒ මදිවට අර මාතරින් තරග කල හිටපු රණවිරුවගෙ කෙරුවාවට එයා ඇතුලට දාලයි පස්ස බැලුවෙ. ඒ විතරක්ද අර මංකොල්ලයකට සැකපිට අත් අඩංගුවට ගත්ත යූඇන්පී අපේක්ෂකය (එයා දැන් මන්ත්‍රී) උසාවි දාන්නත් කලින් තීන්දුව දුන්නෙ. එහෙම බැලුවම නඩුකාරයටත් ඩිංගිත්තක් උඩිං එයා ඉන්නෙ.

මං හිතුවෙ මෙදාපාර නං එරාජ් විතරක් නෙවේ එයාට උපදෙස් දුන්න වලව්වෙ බේබිත් ඇතුලට දාලයි පස්ස බලන්නෙ කියල. නමුත් වැඩේ කියන්නෙ සිද්ධියෙන් පස්සෙ අජිත් රෝහණ මහත්තයගෙ කියුං කෙරුං අර මුලින් කිව්ව ආකාරයට අංශක එකසිය අසූවක් වෙනස් වීම. උන්නැහේ කියන විදියට මන්ත්‍රී කෙනෙක් යම් ගමනක් යනව නං පොලීසියට දන්නල යන්න ඕන. නැත්තං අාරක්ෂාව ගැන වගකියන්න බෑ. මේක ඉස්සර අපි කරපු හොරා පොලිස් සෙල්ලම වගේ. අපි හොරා පොලිස් කරද්දි දුවල දුවල දෙගොල්ලටම හති වැටුනම පොඩි විවෙික කාලයක් ගන්නව. ඒ කාලෙදි පොලිසිය පැනල හොරු අල්ලන්නෙ නෑ. දෙගොල්ලම මහන්සි ඇරගත්තම තමයි ආයෙත් ක්‍රීඩාව පටං ගන්නෙ. මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ගැහුවත් කරන්න දෙයක් නෑ. මන්ත්‍රීවරු කලින් කියන්න එපැයි!

පහුගිය සිද්ධීන් බැලුවම අපිට එන්න පුළුවන් නිගමනය මේකයි. ලංකාවේ තියනව පොලීසි තුනක්.
පලවෙනි එක තමයි ආණ්ඩුවෙ පොලිසිය. ආණ්ඩුවට අවුලක් වෙන්නෙ නැත්තං ඕන කෙනෙකුට ඕන කෙනෙක් ඕන දෙයක් කලාම අපි‍ට මොකෝ කියල ඉන්නෙ අන්න ඒ උදවිය. අජිත් රෝහණ මහත්තය, චූදිතය වැරදිකරුව කියල ප්‍රකාශ කරන උදවිය ඉන්නෙත් ඒ පොලිසිය.

දෙවනි පොලිසිය තමයි පොලිසියෙ පොලිසිය. ඒ කියන්නෙ පොලිස් කාරයෙකුට කවුරුහරි අත තිවුවොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම (ඒ පුද්ගලයට දේශපාලන බලයක් නැත්තං, තියනව නං වැඩේ අල්ලල දානව). පහුගිය කාලෙ පොලීසියට උඩින් ගිය ගොක්කොල සිරී වගේ මැරයන්ට උන දේ මතක නැතෑ.

තුන්වෙනි පොලීසිය තමයි අපේ, ජනතාවගෙ පොලීසිය. අපි ඔය පාරෙදි දකින ට්‍රැෆික් රාලහාමිල, බස් එකේ සල්ලි නොදී උදේ හවස වැඩට යන පොලිසියෙ මහත්තුරු, අපේ පැමිණිල්ලක් විභාග කරන, අරක්කු බොන, බුලත් කන, පගා ගන්න, බනින, ගහන අපි වගේම මිනිස්සු.

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කියන්නෙ ඔන්න ඕකයි.

Thursday, April 3, 2014

වැදුම්ගෙයි අවුල!

"මොකද්ද ඔයාලගෙ පුහුණුවයි එයාලගෙ ස්ට්‍රයික් එකයි අතර තියන සම්බන්ධය?.... ඇයි ඔයාලට දෙන පුහුණුවට එයාල විරුද්ධ?"

කලකට පෙර මා හෙදියක් වන බිරිඳගෙන් විමසූවේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියන් සහ හෙදියන් අතර මතුවූ සූතිකාගාර පුහුණුව සම්බන්ධව අවුල මතුවූ සමයේදීය.

"අපි පුහුණු කරල එයාල අයින් කරන්න හදන්නෙ.... ඒකයි" ඇගේ පිළිතුර විය.

අර්බුධය තවත් උග්‍ර අතට හැරී, දෙපාර්ශවයම වැඩ වර්ජන කරා යාමට තරම් තත්වය දරුණු වූ ඊයේ මා නැවත ඇගෙන් විමසීමි.

"දැන් කාලෙ ස්වභාවික උපත් ගානටම වගේ සිසේරියන් සැත්කම් කරනව... ඉස්සර නං සිසර් එකක් කලේ කලාතුරකින්.... ඒවට බලපාන වෙනත් හේතුත් තියනව.... සීසර් කරල ගන්න දරුවෙක් නං තියටර් එකේ ඉඳල වාට්ටුවට ගෙනියන එකත් ස්වභාවික උපතක නං ළමයි ගන්න එකත් විතරයි එයාල(පවුල් සෞඛ්‍ය සේවිකාවන්) කරන්නෙ.... ඉතිං ඒ කට්ටිය අයින් කරල වියදම අඩු කරගන්න වෙන්නැති ආණ්ඩුව මේ පුහුණුව දෙන්නෙ..."

බැලූ බැල්මට ප්‍රශ්නය පැහැදිලිය. හෙදියන්ගේ පැත්තෙන් ඔවුන් නිවැරදිය. ඔවුන්ට ලැබෙන අවස්ථාව වලක්වන්නන්ට එරෙහිව ඔවුන් සටනට සූදානම් වේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පැත්තෙන් ඔවුන්ද නිවැරදිය. ඔවුන් තමන්ගේ වෘත්තීය වෙනුවෙන් පෙනී සිටී. නමුත් මතුපිට එසේ වුවද අභ්‍යන්තරය එසේ නොවේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉවත් කර උක්ත කාර්ය සඳහා හෙදියන් ආදේශ කිරීමෙන් ආණ්ඩුවට ආර්ථික වාසියක් ලබාගතහැකි යයි සිතිය නොහැක. යම් රෝහලක සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉවත් කල විට එක්කෝ ඒ වෙනුවට (‍පවුල් සෞඛ්‍ය සේවිකාවකට වඩා වැඩි වැටුපක්-දීමනාවක් ලබ‍ා ගන්නා) යම් හෙදියන් සංඛ්‍යාවක් යෙදවිය යුතුය. එසේ නොමැති නම් දැනට සිටින හෙදියන්ගෙන් අමතර සේවයක් ලබාගතයුතුය. එවැන්නකට ඔවුන් එකඟ කරගැනීමද උගහටය.

ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. වෘත්තීන් පිළිබඳ තීරණ ගන්නා ස්ථාන වලය. බ්ලොග් ලිපියක කල සංවාදයකදී උදිත දැක්වූ අදහසක් මෙසේය. "දියුණු රටවල උත්තර හොයන්නෙ ප්‍රශ්නයක් මතුවුනාම. ප්‍රශ්න නැති තැනකට උත්තර දෙන්නෙ නෑ. වරායක් ඕන නං තමයි වරායක් හදන්නෙ......" ඔහු මතුකල තර්කය මෙතැනදීද වලංගුය. ප්‍රශ්නයකින් තොරව නිදහසේ තිබූ සේවාවන් දෙකක් භේද කරමින් අනවශ්‍ය ප්‍රශ්නයක් (පිළිතුරක් ලබාදී) ඇතිකලේ පාලකයන්ය. විසිහතර පැයේම ඇඬීමට සූදානමින් සිටින, "පිස්සු පීකුදු" සෞඛ්‍ය සේවකයන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න විට ඇතිවන තත්වය මෙයයි. අවසානයේ මීට වන්දි ගෙවීමට සිදුවන්න‍ේ කාටදැයි අමුතුවෙන් කීම අනවශ්‍යය.

w3Lanka ලිපිය

Wednesday, April 2, 2014

කරදර ජරමර අස්සේ ඉලෙක්ෂන් ඩියුටි.

ඡන්දෙ ඉවරයි! ප්‍රතිපල දුන්න, වාද කලා, විචාර කලා,.... මේ ඡන්ද ඩියුටි ගැන.
‍මෙදා සැරේ ඡන්ද ඩියුටි වැටුනෙ ටිකක් දුර පැත්තකට. ගිය අවුරුද්දෙද කොහෙද අපිට මැතිවරණ කාර්යාලයේ තිබුන පොඩි වැඩමුළුවක්. මේකෙදි අවධාරණය කල දෙයක් තමයි පිරිමින් රෑට ගෙදර යාම ප්‍රශ්නයක් කියන එක. ඒ නිසා මෙදා පාර හැමෝටම දුර බැහැර ස්ථානයක තමයි ඩියුටි ඇවිල්ල තිබුනෙ. මට තිබුනෙ හම්බන්තොට නගරයට කිට්ටු තැනක පොඩි ඉස්කෝලෙක. ඔන්න දවල් එකට විතර ගෙදරින් පිටත් වෙලා දෙක දෙකහමාර විතර වෙද්දි ඉස්කෝලෙ හොයාගත්ත. ඒ වෙනකොට අපේ එස්පීඕ මහත්තය ඇවිල්ල බැනියම පිටින් වැඩ. තව කාන්තා පිරිමි පරාණ දෙකතුනකුත් හිටිය. මාත් මගේ පත්වීමේ ලියුම දීල අත්සන් කරල පොඩි පොඩි වැඩවල‍ට උදව් උනා.

ඡන්ද ඩියුටි වල තියන අමාරුම වැඩේ තමයි විස්සක් තිහක් විතර තියන දත්ත පිරවිල්ල. සමහර දත්ත එවලේම පුරවන්න පුළුවන් උනත් සමහර දත්ත ඡන්දය ඉවර වෙලා තමයි පුරවන්න ඕන. මේ හැම එකක්ම පොදු ‍ ෆෝමැට් එකක දාල තියනව විතරක් නෙවේ ඒ ඒ කඩදාසි වලට නියමිත ලියුම්කවරත් තියනව. ඒ විතරකුත් නෙවේ ඡන්ද පෙට්ටිය භාරදෙන වෙලාවට ඒ කවර අනු පිලිවෙලට හදන්නත් ඕන. අටෝරාසියක් වෙන මේ විස්තර අන්තිමට කුණු කූඩෙට තමයි යන්නෙ. නමුත් ඡන්ද පෙත්සමක් වගේ ඉදිරිපත් උනොත් නං මේව ඕන වෙනව. ඒ නිසා හරියට තියෙන්නත් ඕන. මුලින්ම කස්ටිය එක්ක ලියුම් කවර ටික ලියනව. ඊට පස්සෙ පුරවන්න පුළුවන් හැම දෙයක්ම සම්පූර්ණ කරනව සෙස්ස පස්සට තියල.

ඔය වැඩ ටික ඉවර කරල නෝනලට ගෙදර යන්න කියල ඔන්න අපි පොඩ්ඩක් කතාබහ කරන්න පටන් ගත්ත.

"මහත්තය කොහේද?" මම ඇහුව.

"අහවල් ඉස්කෝලෙ" හපෝයි......මූ ගුරෙක්.

"එතකොට මහත්තය?"

"මම අහවල් ඉස්කෝලෙ"

"අහවල් ඉස්කෝලෙ"

"ඉස්කෝලෙ"

..........

..........

බැලින්නං ඔක්කෝම ගුරුවරු. බැලූ බැල්මට කනබොන ගතියක් පේන්නත් නෑ. අන්තිමට මම එලියට බැස්ස. මෙන්න ඉන්නව පොලිස් රාලහාමිල දෙන්න. ඒ දෙන්න නං ටිකක් විතර හොඳයි වගේ. මම බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහල ඒක උඩට වෙලා හිටිය. ෆෝන් එක අරගෙන බැලුව මැචි එකේ විස්තර. කොදෙව්වොයි ඕස්ට්‍රේලියාවයි මාරාන්තික ගේමක. බෝල දොලහට ලකුණු තිස් එකක් ගන්න ඕන. අම්මට සිරි සැමි ගහනව ස්ටාර්ක්ට අමර ගැහිල්ලක්. කොදෙව්වො මැච් එක දිනන්න ඔන්න මෙන්න කියල තියෙක්දි පිටට තට්ටුවක් ආව.

"සර්...." මම බැලුව.... ගුරුවරයෙක් ඇවිල්ල තියෙන්නෙ. එයාල එක එක්කෙනාට කියන්නෙ සර් කියල. මටත් සර් කියනව, මාත් සර් කියන්න ඕන. නමුත් මේ සර් කෑල්ල මට පුරුදු නෑ...

"සර් මොකුත් කරනවද..... නැත්තං....." අම්මට සිරි! එල බුවෙක්නේ. මාත් ඇඟිල්ලෙං අනිනකං නෙව හිටියෙ.

"මමයි අහවල් සරුයි අහවල් සරුයි අහවල් සරුයි අහවල් සරුයි ඉන්නව..... එස්පීඕ මහත්තය නං බෑ කිව්ව.... අපිට කරන්න කියලත් කිව්ව.... රාලහාමිල දෙන්නත් ඕකේ"

ඔන්න ඔහොමයි වැඩේට සෙට් උනේ.
බීම ගැනත් කියන්න ඕන. මම අර මුලින් කිව්ව වැඩමුළුවෙදි අපේ යෝජනා ගත්ත. එකෙක් කල යෝජනාවක් තමයි ඡන්දයට පෙර දා රෑ සිදුකරන බීම නැවැත්විය යුතුයි කියන එක. ඒ ගමන ඒසී මහත්තය අනිත් අයගෙ අදහස් විමසුව. ඔය අතරෙ එකෙක් නැඟිට්ට.

"සර්, දවසක් නිදිමරාගෙන දවස් දෙකක් මහන්සිවෙලා අපි ඩියුටි එන්නෙ ඔය රුපියල් හාරපන්දාහ බලාගෙන නෙවේ.... පොඩි විනෝදයකටත් එක්ක.... ඡන්දෙට කලින් දවසෙ බීම තහනම් කරනව නං අපි ඩියුටි එන්නෙ නෑ සර්!"

කොහොමද ප්‍රතිවිරෝධය! නමුත් ඒසී මහත්තය යෝජනාවට එකඟ උනේ නෑ!

"නෑ නෑ අපි බලන්නෙ ඡන්දය සාර්ථකව කරන්නෙ කොහොමද කියල විතරයි.... ඉතිං අපි කල්පනා කරන්නෙ නෑ ඔයාලගෙ විනෝදය නැති කරන්න.... ඡන්දයට බාධාවක් නොවෙන විදියට කලාට කමක් නෑ.....අනෙක හැමෝම වගේ ඔය වැඩේ කරනවනෙ"

ඔන්න ඔහොමයි තහනම් වෙන්න ගිය බීම බේරගත්තෙ.
ඔන්න ඊට පස්සෙ වෑන් එකේ මල්ලිත් එක්ක අන්තිමට අට දෙනෙක් ඉන්නව. ඒ පැත්ත හරි! නමුත් තව අවුලක් තිබුන. නාන්න තැනක් නෑ. ඉස්කෝලෙ බාත්රූම් එකක් නෑ. ග්‍රාම සේවකය ටැප් එක ලගට වතුර මලක් දාලත් නෑ. ඒ ගමන එක්කෙනෙක් යාළුවෙකුට කතා කරල නාන්න තැනක් සෙට් කරගත්ත. මේ අතරෙ කෑම ගේන කොලුව ආව.

"දවල් කෑම නං හරිනෑ පුතා... ටිකක් හොඳට කෑම එක ගේන්න"

අවුලක් තිබුන. අපි හිටිය ගම්මානයෙ අති බහුතරය මුස්ලිම්. එයාලගෙ කෙනෙකුට තමයි කෑම ඕඩරේ දීල තිබුනෙ. ඒ කෑම අපිට හරියන්නෙ නෑ වගේ. කමක් නෑ රෑට හරි හොඳට දේවි කියල හිතුව. හතහමාර විතර වෙද්දි ගල් දෙකක් ගෙනල්ල ඒක අනුමත කරමින් හිටියෙ. ඒ අතරෙ කතා කෙලවරක් නෑ. හම්බන්තොට පොලිසියක හිටිය එක රාලහාමි කෙනෙක් අලි කතාවක් පටන් ගත්ත.
මීට ටික කාලෙකට ඉස්සර මටත් මතකයි නර්ස් නෝන කෙනෙකුට අලිය ගහල වෙච්ච කලබලේ. ඒ කතාව හරියටම කිව්වෙ රාලහාමි. රාලහාමි නිකං මෝඩයෙක් වගේ... මනුස්සයෙක් මැරුන එක පවා කියන්නෙ හිනා වෙවී.

"මහත්තයෝ මේ හරියෙත් අලි හිටිය අවුරුදු දෙක තුනකට කලිං.... ඔය නර්ස්ට අලිය ගැහුවට පස්සෙ හෙන කලබලේ... මිනිස්සු උද්ගෝසනේ කරන්න ගත්ත.... ඒ ගමන අලි එලවන්න අපි සෙට්වුනා.... පොලීසියෙ හතරයි ආමි තුනයි..... අලි එලවිල්ල හරක් එලවිල්ල වගේ නෙවේ.... අලිය ලේසියෙං යන්නෙත් නෑ.... ඔන්න අපි එක පැත්තකිං වෙඩි තියාගෙන එනකොට අලිය දුවන්න ගත්ත ආමි එකෙන් හිටිය පැත්තට.... උඩට වෙඩි තිව්වත් අලිය හැරුනෙ නෑ..... ඒ ගමන අලුත ආමි එකට බැඳුන කොල්ලෙක් ඉන්න පැත්තට මූ දුවන්න ගත්ත... අරූ දුවද්දි ඇලකට වැටුන.... පොඩි ඇලක්.... අලිය එතනින් යද්දි මූ බේරිලා තියෙන්නෙ නූලෙං.... අලියගෙ කකුලක් ඇ‍ෙඟේ හැපිල මූ වීසිවෙලා.... අලිය ගහයි කියන බයට මූ ටී පනස් හයේ මැගසින් එක ඉවර වෙනකල් ගැහුව.....හහ් හහ් හහ්....."

"ඉතිං?"

"අලිය එතනමයි..... හහ් හහ් හහ්....." උගේ හිනාව හරි කැතයි. නමුත් මොනව කරන්නද!

"හැබැයි අර නර්ස්ට ගහපු අලිය නෙවේ වෙන එකෙක් මැරුවෙ..... මට මතකයි තාත්තයි පුතයි ඇලක් ලඟ වැලිගොඩදාන වෙලාවෙත් ඔය අලිය ගැහුව. තාත්ත දිව්ව අවුරුදු පාලහක් විතර වෙන පුතා අල්ලල පෑගුව..... ඔලුව නිකං කොමඩු ගෙඩිය වගේ පොඩිවෙලා තිබුනෙ.... හහ් හහ් හහ්....." ඌ ඒකටත් හිනා වෙනව.

මටත් මතකයි ඔය අලියව. ඌ මනුස්සයන්ගෙ ඔලුව කටින් විකනව කියලත් ආරංදියක් තිබුන... හේතුව වෙන්න ඇත්තෙ හැම කෙනෙකුගෙම ඔලුව පෑගීම වෙන්න ඕන. ඒක ගැනත් කතාවක් තියනව. ඉස්සර දවසක හේනක හිටිය පඹයෙකුගෙ ඔලුවට තියපු මුට්ටියෙ මී වදයක් තිබුනලු. අලිය දවසක් මිනිහ කියල හිතල මුට්ටිය කාල. මීපැනි රසයට වහවැටිච්ච අලිය ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ඔලුව කන්න පටන් ගත්තලු.

කතාබහත් බෝතල් දෙකත් ඉවර කරපු අපි රෑ කෑමට ගියා. කෑම එක ඇරියමයි කට්ටියට තරු පෙනුනෙ!
අල කෑලි දෙකයි, මාලු කෑල්ලයි, පපඩමයි, බැදපු මිරිස් කරල් දෙකයි. ඕං රෙසිපිය! ඒ මදිවාට හොද්දක් නෑ. ටිකක් බිල හිටිය නිසා මම නං කෑව පොලිසියෙ රාලහාමි් කෙනෙකුත් කෑව. අනිත් අයට නං කන්නම බැරිවුනා. දුක තමයි. ඒ වෙලාවෙ ග්‍රාම සේවකය ආව නං ඌව කනව.

කෑමෙන් පස්සෙ මම ගියා පැදුරයි කොට්ටෙයි අරගෙන අපි සෙට්වෙච්ච පුස්තකාල කාමරයට. ඒකෙ තිබුන ලොකු මේසය උඩට පැදුර දාගෙන මම නිදාගත්ත. ඔලුවට ඉහලින් ෆෑන් එකකුත් තිබුන නිසා මදුරු කරදරයකුත් නෑ. හරියටම දෙක වෙනකල් නින්ද ගියා. දෙකට ඇස් ඇරුන. ඒ ගමන "ඇඳෙන්" බහින්න ගියා එලියට යන්න. නමුත් කකුල පහලට දැම්ම විතරයි එකෙක් පෑගුනා... අලිය පාගන ගානට පෑගුනේ නැති නිසා ඒ ගමන අනිත් පැත්තෙන් බහින්න හිතුව... මොන ඒ පැත්තෙත් එකෙක් නිදි! ඒ ගමන සාක්කුවෙ තිබුන ගිනි පෙට්ටිය අරගෙන පත්තු කලා. බැලින්නං මගේ දෙපැත්තෙ බාලාංශ මේස සෙට් ක‍රගෙන දෙන්නෙක් නිදි. ඒ දෙන්න තමයි මට‍ පෑගුනේ. උන් දෙන්න නිදාගන්ද්දිත් කියල තියනව මම නැඟිට්ට්‍ොත් ඇතිවන තත්වය. නමුත් මම නැඟිටියි කියල හිතල නෑ. ඒ ගමන කස්ටිය කරුවලේ කතා කර කර හිටිය පැය දෙකක් විතර. මෙහෙම ඉන්නකොට ඡන්ද පෙට්ටිය තිබුන ශාලාවෙ ඉඳල දෙන්නෙක් ආව අපි ඉන්න කාමරේට.

"පොඩ්ඩක් ලයිට් එක දානවද!" මම ලයිට් එක දැම්ම.

"අයියෝ.... මෙතනින් තමයි වයර් එක ඇදල තියෙන්නෙ" ආපු එකා ඔලුවෙ අත ගහගත්ත. වෙලා තියෙන්නෙ මේකයි.
අපි හිටියෙ පුස්තකාල කාමරේක.... ඒකෙ ලයිට් එකට වයර් එකක් ඇදල තමයි ප්‍රධාන ශාලාවට විදුලිය සපයල තිබුනෙ. අපි නිදාගන්න ලැහැස්ති වෙලා ලයිට් ඕෆ් කරද්දි අර ශාලාවෙත් ලයිට් නෑ නෙව. එයාල පාන්දර දෙකේ ඉඳල ට්‍රයි කරල තියනව ලයිට් හදාගන්න. අන්තිමට පරංගියා කෝට්ටෙ ගියා වගේ ඇදල තිබුන වයර් එක අතගාගෙන එද්දියි අපේ කාමරෙන් වයර් එක ආපු බව දන්නෙ. ඊට පස්සෙ නං නින්ද ආවෙම නෑ. කට්ටිය එක්ක තතාකරමින් ඉඳල උදේ හතර විතර වෙද්දි ඇඳ පැලඳගෙන සූදානම් වෙන්න හිතුව. රාලහාමිට පින් සිදුවෙන්න හෝල් එකටත් අපි නිඳාගත්ත පුස්තකාල කාමරයටත් විතරයි ලයිට් තිබුනෙ. වතුර ගන්න තිබුනෙ ටැංකියකින්. ටැංකිය ලඟ ඉඳල මීටර පනහකට වැඩිය දුරක් තියනව වැසිකිලියට. ඔන්න ඒකට ගිය එකෙක් රාලහාමිගෙ අම්ම මතක් කරමින් එනව....

"අරූගේ අම්මට *&^&^( ටොයිලට් එකේ වතුර නෑ! හිටපිය ඕකට කරන්න හොඳ වැඩක්......"

අන්තිමට වැසිකිලි බාල්දි දෙක ටැප් එක ලඟට ගෙනල්ල වතුර ඇදගෙනයි වැඩේ කරගන්න උනේ. ඔන්න උදේ හය වෙනකොට කට්ටියම ලැහැස්තියි. ඒ එක්කම කෑම භාරව හිටිය ගෑනු මනුස්සය බෙඩ් ටී එක අරගෙන ආව. ටී එකක් බොන්න බලාගෙන එයා ලඟට ගිය උදවිය හෙමින් සැරේ එනව තේ නොබී. බැලින්නං ටී ගෙනාපු භාජනය හෝදපු නැති පොදු වැසිකිලියක් වගේ. ඒක දැක්කම වමනෙ එනව. කවුරුවත් බිව්වෙ නෑ. අන්තිමට කට්ටිය එස්පීඕ මහත්තය ලඟට ගියා.

"එස්පීඕ මහත්තය මේ වැඩේ හරියන්නෙ නෑ.... අපි පිටින් ගෙනත් කෑම කමු. ටවුමට වැඩි දුරක් නෑනේ" කලින් දවල් කෑම සවුත්තු වෙද්දිම ඔය යෝජනාව කලින් කලත් එස්පීඕ මහත්තය එච්චර කැමැත්තක් දැක්වුවෙ නෑ.

"රාලහාමි එයාගෙ වැඩේ කරයිනේ. අනෙක කෑම ඕඩරේ භාරදුන්න ගෙදර සූදානං කරලත් ඇතිනේ" කියලයි කිව්වෙ. නමුත් මේ වෙලාවෙ නං එසේ නොකර ඉන්න බැරිවුනා.

ඔන්න අන්තිමට ඡන්දෙ පටන් ගත්ත. අවුලක් නැතිව වැඩේ සිදුවුනා. පොඩි පොඩි අවුල් නැතුවමත් නෙවේ. මූලික ප්‍රශ්නයක් තමයි හැඳුණුම්පත් අපැහැදිලි වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නැතිවීම. මෙදා ඡන්දයට වලංගු වන හැඳුනුම්පත් වර්ග හතක් තිබුන. ඡන්දය දාන්නම හදල දීපු තාවකාලික හැඳුනුම්පත් වර්ගයකුත් තිබුන. නමුත් ජාතික හැඳුනුම්පත අපැහැදිලි වීම නිසා දෙතුන් දෙනෙකුට ඡන්දය දාන්න දුන්නෙ නෑ. අපේ මිනිස්සු හැඳුනුම්පත් හැදිල්ලට තියෙන්නෙ සෑහෙන්න මැලි කමක්. නමුත් මේවගේ අවස්ථාවකින් පස්සෙ නං හැදෙයි කියල හිතෙනව.

තවත් අවුලක් තමයි රට ගිය උදවිය ඡන්දෙ දාන්න පැමිණීම. මෙතනදි අපේ එස්පීඕ මහත්තය අතිනුත් වරදක් උනා. පෙබරවාරි අග දක්වා රට ඉන්න අයගෙ ලිස්ට් එකක් අපිට ලැබිල තියනව. නමුත් ඊට පස්සෙ ලංකාවට එන්න ඉඩ තියනව නෙව. මෙන්න මෙහෙම ආපු අයට ඡන්දය දාන්න දෙන්න බෑ කියල එස්පීඕ මහත්තය කිව්ව. නමුත් ඇත්තටම සිද්ධවෙන්න ඕන ලිස්ට් එකේ තිබුනත් දැනට අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් නම් ඡන්දය දැමීමේ අවස්ථාව ලබා දෙන්න. අන්තිමට ඉහලට කතා කරල ඒ උදවියට ඡන්දය ප්‍රකාශ කරන්න ඉඩදුන්න.

අපේ මධ්‍යස්ථානයේ සීයට හැත්තෑ දෙකක් විතර ඡන්දය දැම්ම. මුස්ලිම් උදවිය 95%ක් විතර හිටිය නිසා සන්ධානයේත් එජාපයේත් මුස්ලිම් අපේක්ෂකයට තමයි දාන්න ඇත්තෙ. අපිත් දහ දෙනෙකුට විතර ඡන්දය දාන්න උදව් උනා. ඔය උදව් වීම සම්බන්ධයෙනුත් නීතියක් තියනව. ශාරීරිකව දුබල කෙනෙක් ආවොත් ඡන්දය ලකුණු කරන්න එයාට උදව් වෙන්න අපිට පුළුවන්. කාර්ය මණ්ඩලයේ දෙන්නෙක් එකතු වෙලා ඒ කාර්ය කරන්න පුළුවන්. එක වෙලාවක අපූරු සිද්ධියක් උනා.

ඔන්න තාත්ත කෙනෙකුයි පුතෙකුයි ඡන්දෙ දාන්න ආව. තාත්ත ඇවිදගෙන ආවෙත් බොහොම අමාරුවෙන්. පුතාට වාරු වෙලා තමයි ආවෙ. දෙන්න ඡන්ද පත්‍රිකාව අරගෙන එක අරගෙන ලකුණු කරන තැනට ආව. පුතා ඡන්දය දානකල් තාත්ත අල්ලගෙන හිටියෙ අපේ එක්කෙනෙක්. ඊට පස්සෙ තාත්තගෙ වාරය. අපි දෙන්නෙත් තාත්ත අල්ලගෙන ලකුණු කරන තැනට එද්දි ඡන්දය ලකුණු කරන්න කියල තාත්තයි පුතයි දෙන්නම ඉල්ලුව. ඡන්දය දාන්න ඕන කාටද කියල අපි තාත්තගෙන් අහනකොට පුතා පැනල කිව්ව බුලත් කොලේ අහවල් අංකෙ කියල. නමුත් අපි පුතාට යන්න කියල තාත්තගෙන් අහනකොට එයා කියනව අලියට ගහන්න කියල. අන්තිමට අලියට ගහපු ඡන්දය පෙට්ටියට වැටුන. තමන්ගේම කැමැත්ත, ඡන්දය කියන්නෙ ඒකයි.