Tuesday, April 30, 2013

වස බීම සහ වසදීම.

රෝහල්ගතව සිටි තම පෙම්වතියට වස දී මරාදමීමෙන් පසු තමාද සයනයිඩ් ශරීරගත කරගෙන වෛද්‍ය ශිෂ්‍යයෙක් මියගියේ දින කිහිපයකට පෙරදීය. පෙම්වතිය රෝහල්ගතකොට සිටියේද සියදිවි නසාගැනීමට නිදිපෙති පානය කිරීම හේතුවෙනි. ඇයද විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකාව දිවිනසාගැනීම වලින් කප්ගැසූ රටකි. සියදිවි හානි කරගැනීම ලැයිස්තුවේ ඉහලින්ම සිටීමට පසුගිය සමයේ අපට හැකි විය. දිවිනසාගැනීම ඝාතනයක් හා සමාන ප්‍රථිපල අත්කරන්නක් බව ඉගැන්වෙන බුදු දහම අදහන්නන්, ජනගහනයෙන් බහුතරය වුවද ගුරුවරයා හෝ දෙමාපියන් තරවටු කල පමණින් දිවි හාණි කරගන්නා බාල වයස්කරුවාගේ සිට අස්වැන්න විකුණාගත නොහැකි වූ ගොවියා දක්වා සැලකිය යුතු පිරිසක් ප්‍රශ්න හමුවේ දිවි නසාගනිති. මේ අතරින් අපගේ අවධානය යොමු වන්නේ බාල වයස්කරුවන් සහ ආදර සම්බන්ධතා හේතුවෙන් දිවි හානි කරගන්නා කොටස ගැනය.

සති අන්ත පුවත්පතක සඳහන් වූ පරිදි එය 'මරාගෙන මැරුණු' ශිෂ්‍යයාගේ ප්‍රථම ප්‍රේමයයි. වයස විසි ගනන්වල පසුවන්නන් අතර 'ප්‍රථම ප්‍රේමය' අප වැනි රටවලට ආගන්තුක කරුණු නොවේ. විවාහයට පෙර සිදුවන පෙම් සබඳතා සඳහා වටපිටාවෙන් එල්ලවන බාධාවන් හමුවේ ප්‍රේම කිරීම ලාංකීය තරුණ තරුණියන්ට අභියෝගයකි. ජීවිතයේ තරුණ සමයත් සමඟ ඇතිවන අතිශයින් ස්වාභාවික ශාරීරික-මානසික වෙනස්කම් අපේ සමාජයේ බහුතරයකට මැජික්ය. මේවායේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ වයස විසි තිස් ගනන් වලදීත් ආදරය හෝ ලිංගික සම්බන්ධතා ගැන නොදන්නා පරපුරක් බිහිවීමයි. 'විවාහය සඳහාම ආදරය කිරීමට' බල කරන වටපිටාවක අධ්‍යාපනය පැත්තෙන් කෙතරම් ඉදිරියට ගියද වෛද්‍ය ශිෂ්‍යයා වැනි විකෘත නොදරුවන් බිහි වන්නේ එබැවිනි. මීට වසරකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ තරුණයෙක් සහ තරුණියක් දුම්රියට පැන දිවි හානි කරගත් අතර ඔවුන් දෙදෙනා වෛවාහක සබඳතා පැවැත්වූ සොහොයුරෙක් හා සොයුරියක්ය. එක් නිවසක ජීවත් නොවුවද ඔවුන් සම්බන්ධතාවය පටන්ගන්නා විටත් තම ඥාතීත්වය දැන සිටි අයවලුන්ය. සහෝදරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීමට තරම් නරක තත්වයකට පත්වන්නේ මා ඉහත දැක්වූ සමාජමය ආකල්ප නිසා විය හැකිය.

මෙවන් පරම්පරාවක් ඇතිවීමට බලපාන කරුණු අතර අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පාසල් තුලින් ඇතිවන බලපෑමයි. සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් තුල, ප්‍රේම කිරීම, බරපතල ගණයේ අපරාධයකි. මත්ද්‍රව්‍ය භාවිතය පවා ඇත්තේ 'පාසල් දන්ඩ නීති සංග්‍රහයේ' ඊට පහලිනි. අප පාසල් ගිය සමයේ පෙම් සබඳතා ඇතිකර ගැනීමේ වරදට, තවත් පාසලකට ඇතුළු විය නොහැකි පරිදි, පාසලෙන් ඉවත් කල පෙම්වතුන් සිටි බැව් මතකය. එකල ගුරුවරුන් 'නීති විරෝධී පෙම් හසුන්' අත්අඩංගුවට ගත්තේ මහත් උජාරුවෙනි. තමන්ද එවන් වයසක් පසුකර‍ විත් සිටින්නන් බැව් කිසිවෙකුටත් මතකයේ නොතිබුනේය. ලෝකයේ සෑම ජන කොට්ඨාසයක මෙන්ම ලාංකිකයන්ද ගැටවර වයසට එලඹෙන්නේ නියමිත කාලයේදීම ය. එහෙත් ඔවුන්ට ලිංගික අධ්‍යාපනය පවා ලබාගැනීමට සිදුව ඇත්තේ අවිධිමත් ආකාරයටය. සමහර පාසල් වල ප්‍රජනනය පිලිබඳ පාඩම් ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන ගුරුවරුන් සිටි බව බ්ලොග් ලිපියක පවා දුටුවෙමි. විවෘත ලිංගික සබඳතා අනුමත නොකලද 'ආදරය කිරීම' පිලිබඳව පුළුල්ව සිතාබැලීමට දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ඉගැන්විය යුතුය.

මේ වනවිට ලාංකීය අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ අපූරු ආකාරයකටය. එනම්, එකල මෙන් නොව පළමු වසරේ සිට පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පන්තිවලට යාම විලාසිතාවක් බවට පත්ව තිබීමයි. මෙසේ දෙවරක් එකම අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් සිටින රට ලංකාව පමණක් විය හැකිය. කුමන හෝ අයුරකින් අධ්‍යාපනය ලබාගැනීම පිලිබඳව ගැටළුවක් නැතත් අද ඇති තරගකාරීත්වය හමුවේ වන්දි ගෙවීමට සිදු වන්නේ දරුවන්ටය. උදෑසන 7.30 සිට සවස 1.30 දක්වා වැනි අධ්‍යාපනය ලැබීමේ කාලයක් නියම කර ඇත්තේ අධ්‍යාපනය ලබන දරුවාගේ පැත්තෙන් සිතා බලා ඔහුට/ඇයට විවේකයක් ලබාදීමේ අරමුණින්ය. එහෙත් ද්විත්ව අධ්‍යාපනය ලැබීම නිසා යන්ත්‍ර වැනි තත්වයට පත්වන ගැටවරයන් වැඩිහිටියන් බවට පත්වන විට ඇතිවන අවුල් ලිහාගැනීම අසීරුය.

සාමාන්‍යයෙන් සත්වයන් අතුරින් දීර්ඝතම ළමා කාලයක් ඇති සත්වයා මිනිසාය. අවුරුදු දහ අටක් පමණ වන තෙක් නීතියෙන්ම එම තත්වය තහවුරු කර ඇති අතර උසස් අධ්‍යාපනය ලබන කාලයද සැලකුව හොත් එය තවත් අවුරුදු ගනනාවක් දක්වා ඇදී යයි. වයස හැට ගනනක් වනවිට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගාබාධ වලට ලක්වී ජීවිතය අවසන්වීම(හෝ සිටියත් නොසිටියා මෙන්) සුලභ වී ඇති සමයක වයස විසි ගනනක් ළමා කාලය වෙනුවෙන් කැප කිරීම නවතා දැමිය යුතුය. සාමාන්‍ය උපාධියක් ලබාගත හැකි වයස අවුරුදු විස්සක් පමණ වනසේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල හැකි නම් එය හොඳ මට්ටමකි. එවිට ආදරය අහිමි වූ විට පවා ඝාතනයන්ට පෙළඹෙන, ඇවිදින යන්ත්‍ර බිහිවීම වලක්වා ගතහැකි වනු ඇත.

Thursday, April 25, 2013

මගේ ඊ රාජ්‍ය සහ මහතුං මාමාගෙ ඊරාජ්ජෙ!

"හොහ් හොහ් හොහ්.....ඊරාජ්ජෙ? උඹලෑ ආච්චිගෙ රෙද්ද? ඊයෙ පෙරේද මම මගේ සල්ලි ගන්න බැංකුව‍ට ගිහිල්ල වෙච්ච සිද්ධිය අහගනිංකො ඉස්සෙල්ල.... ඊ‍ට පස්සෙ කියහං උඹේ ඔය ඊරාජ්ජෙ ගැන"

තුන්දෙනා එක්කම ගැහුවෙ වීඑස්ඕ බෝතලෙන් බාගයක් උනත් දැනටම 'හොඳ ගානට ලංවෙච්ච' මහතුන් මාම මට විරුද්ධව කතාව පටන් ගන්ත.

"ඕං මේකයි කතාව.... මගේ සල්ලි ටිකක් තිබුන බැංකුවෙ. මටත් අමතක වෙලා බං තිබුනෙ ඔය සල්ලි ටික. ඒ දවස්වල, ඒ කියන්නෙ සමුර්දිය පටන් ගත්ත මුල් කාලෙ දැං වගේ සමුර්දි බැංකු තිබුනෙ නෑනේ. අපේ සල්ලි තිබුනෙ ලංකා බැංකුවෙ ගිණුමක. මගේ මතකෙ හැටියට දහදාහක් විතර තිබුන. අපේ සල්ලියි අපිට ලැබෙන කොටහයි දෙකම එකතුනාම තමයි ඔය ගාන හැදෙන්නෙ.......ඔය වීදුරුව ගනිං!"

මහතුං මාම වීදුරුවට තවත් එකක් දාගෙන බීල බයිට් එකට තිබුන මාළු කෑල්ලකුත් කටේ දාගත්ත. උන්දැ කතාව පටන් ගන්න කලිං මේටික කියන්නං.
මහතුං මාම කියන්නෙ අපේ ගෙවල් කිට්ටුව ඉන්න මනුස්සයෙක්. වයස පනස් පහක් විතර ඇති. සාමාන්‍යයෙන් රහමෙර පානය කරන කෙනෙක් නූනත් හැම අවුරුද්දකටම වීඑස්ඕ බෝතලයක් වරදින්නෙ නෑ. අවුරුද්ද තදාසන්න දවසක මහතුං මාමගෙ බෝතලේට මටත් ආරාධනාවක් ලැබුන. අනිත් එකා රංජි අයිය. ඒ අස්සෙ රාජ්‍ය සේවෙ ගැනත් ඇදිල ආවට පස්සෙ මම කිව්ව මෙහෙම.

"මහතුං මාමේ ඔන්න බලන්න තව අවුරුදු කීපයකිං ඊ රාජ්‍ය ඇතිවුනාම මාමලට ගෙදර ඉඳගෙනම වැඩ කරගන්න පුළුවන්.... කොම්පියුටරේ දැම්ම ඉන්ටනෙට් එකෙන් වැඩේ කලා.‍... හරිම සරළයි!"

මගේ ඔන්න ඔය ප්‍රකාශයට තමයි මහතුං මාම ඔබ්ජෙක්ෂන් එක දැම්මෙ. ආයෙත් කතාව.‍

"අවුරුද්ද කිට්ටු නිසා මම බැලුවෙ ඔය සල්ලි ටිකවත් අර‍ගන්න.... හැබැයි මගේ බැංකු පොත වගේ තිබුන කාඩ්එක නැතිවෙලා. මම ගියා සමුර්දි මහත්තය ගාවට, එයා කිව්ව ඒ සල්ලි ගන්න ඕන බැංකුවෙන් කියල"

"ඉතිං?"

"ඉතිං මම ගියා ලංකා බැංකුවට. මැනේජර් මහත්තයට විස්තරේ කිව්වම එයා කිව්ව ඒ සල්ලි ගන්න බෑ කියල...., මාත් ඇතෑරියෙ නෑ...., අඳුරන මිස් කෙනෙක් එක්ක ආයෙත් දවසක් කතා කලා...., ඒ මිස් ආයෙත් එක්කං ගියා මැනේජර් මහත්තය ගාවට..., ඒ ගමන උන්නැහේ මොන මොනවද කටු කුටු ගාල කිව්ව පෝම් කොලයක් ගේන්න ඕන කියල...., බැලුවම ඒක ගන්න තියෙන්නෙ සමුර්දි බැංකුවෙන්...., හා මොනව කරන්නද මම ගියා සමුර්දි බැංකුවට!"

"ඉතිං?"

"සමුර්දි බැංකුවෙ මැනේජර් නෝන කියපි පෝම්එක ගන්න ඕන තමුන් අයිති සමුර්දි වසමෙ නියාමකගෙන් කියල"

"ඉතිං මාමේ සමුර්දි මහත්තය මුලිං ඒ කතාව කිව්වෙ නැද්ද?" කට තියාගෙන ඉන්න බැරිකමට රංජිය ඇහුව.

"නෑනේ බං! මම වටේ කැරකිලා ආයෙත් ආව මුලටම....හොහ් හොහ් හොහ්....."

"ඔන්න ඊ‍ට පස්සෙ කොලෙත් අරගෙන එයාගෙනුත් අස්සං අරගෙන සමුර්දි බැංකුවෙනුත් අස්සං අරගෙන ලංකා බැංකුවට ගියා කියමුකෝ...."


"ඹ්ව ඔහොම තමයි මහතුං මාමේ ඔයවගේ නීති තිබුනෙ නැත්තං මාමල ඔය සල්ලි වියදං කරලත් ඉවරයි මෙලාකට, කොහොම හරි වැඩේ කෙරුනනෙ!"

"වැඩේ කෙරුන? හොට දාන්නෙ නැතුව අහගනිංකො,...ඔන්න අන්තිමට කොලේ අරගෙන ලංකා බැංකුවට ගියා. ගිහිල්ල එතනත් කොලයක් පුරවල බාරදුන්න. එතනිං කිව්ව හරි කියල"

"හරි කිව්වෙ සල්ලි දුන්නද?"

"නෑ. කිව්වෙ සල්ලි සමුර්දි බැංකුවෙ ගිණුමට දැම්මය එතනිං ගන්නය කියල"

"හරි හරි මාමේ ඔන්න දැං මට තේරුනා වෙච්ච දේ.... මාමලගෙ සල්ලි දාන්න සමුර්දි බැංකුවක් ඒකාලෙ තිබුනෙ නෑනේ.... ඉතිං ලංකා බැංකුවෙ තමයි සල්ලි දැම්මෙ. ඊට පස්සෙ සමුර්දි බැංකුට පටන් ගත්තට මොනයම් හෝ ක්‍රමේකට මාමලගෙ ගිණුමෙ සල්ලි ඒකට ගියේ නැතුව තිබුන. දැං සිද්ධ උනේ ඒක නීත්‍යානුකූල අයිතිය තියන සමුර්දි බැංකුවෙ ගිනුමට බැරවීම...හරිනෙ!"

"උඹේ මහප්රාන මට තේරෙන්නෙ නෑ... මම ගියා සමුර්දි බැංකුවට සල්ලි ගන්න.... බලනකොට අපේ සමුර්දි සමිතියෙ එකෙක් සල්ලි අරගෙන ගෙවල නෑ කියල මගේ සල්ලි දෙන්න බෑ කිව්ව"

මට අයියෝ ගෑවුනා. මේ මනුස්සයගෙ මහන්සිය!

"ඒ මදිවට සමිතියෙ ඉන්න එවුන් පස්දෙනා ඇතුලෙන්ම තමයි ඇප වෙන්නත් ඕන. පිට එවුන්ගෙ ඇප පිලිගන්නෙත් නෑ. එකෙක් වැරැද්දක් කෙරුවම සේරටම පරිප්පු කන්න වෙනව.....කවදාහරි අරූ සල්ලි ගෙව්වම තමයි මගේ සල්ලි ගන්න වෙන්නෙ. ඒ අතරෙ තව එකෙක් නොගෙව ඇරියොත්........"

Friday, April 19, 2013

කොච්චර ඇරියත් ගානක් නැත්තෙ ඇයි?


ආණ්ඩුව නැකතට වැඩ අල්ලා ඇත. ඒ තංගල්ල කාල්ටන් නිවසේ සිට නොවේ. විදුලිබල මණ්ඩලයේ සිටය. විදුලි ගාස්තු සියයට අනූ ගනනක් දක්වා පරාසයකට වැඩිකර ඇත. ඒ පිලිබඳ කතාබහද වැඩිවී ඇත. ඉදිරියේදී බස් ගාස්තුද වැඩිවීමට නියමිතය. කෙසේ වුවත මේවා සාමාන්‍ය සිද්ධීන්ය. සතියක් දෙකක් යනවිට සියල්ල යථා තත්වයට පත්වීමත් ඊලඟ ඡන්දය වනවිට සම්පූර්ණයෙන් අමතක වීමත් අනිවාර්යෙන් සිදුවන්නකි. ඊ‍ට හේතුව කුමක්ද? සාමාන්‍ය ජනතාවට මේ ප්‍රශ්න ප්‍රශ්න නොවන්නේද? එසේත් නැතිනම් ආණ්ඩුවේ කතා හිස්මුදුනින් පිලිගන්නේද? මෙවන් අවස්ථාවකදී ජනතා නැඟිටීමක් ඇති නොවන්නේ ඇයි?

මීට හේතුසාධක කිහිපයකි.
සංශෝධන දහ අටකට ලකවී මේ වනවිට ඉතිරිව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැමිණීමට පෙර පැවති කාලයේ සත ගනනක බඩුමිල ඉහල යාමකදී පවා ආණ්ඩු මාරුවූ අවස්ථා තිබූ බව අප අසා ඇත. එහෙත් මෑත ඉතිහාසය වෙනස්ය. 1994දී එජාප රජය පෙරලෙන අවස්ථාව වන විටත් 'ස්ථාවර' ඡන්ද පදනම අනුව ඉදිරියෙන් සිටියේ ඔවුන්ය. ඉදිරිපෙල නායකයින් සියල්ල ඝාතනය වූ පසුවද ආණ්ඩුවට වඩා එක් අසුනක් පමණක් පිටුපසින් සිටීමට විපක්ෂයට හැකිවිය. එහෙත් ඉන් පසුකාලයේ එජාපයේ ඡන්ද පදනම සීයට විසි ගනනක් දක්වා පහල බැස ඇත. මෙය ජේආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ ආනුභාවයෙන් සිදුවන්නකි.

මෙම ක්‍රමයේදී රටේ පාලකයා කෙතරම් ඒකාධිපතියෙකු වුවද ඔහු උපායෙහි දක්ෂයෙක් නම් අවුරුදු පහලවක් විස්සක් පාලනය කිරීම අසීරු නොවේ. අවශ්‍ය වන්නේ තම පාලන කාලය තුල තමාට හිතෛශීන් පිරිසක් ඇතිකරගැනීම පමණි. ආණ්ඩුව කොතරම් පිරිහී ඇති තත්වයක් තුල වුවද ඕනෑම අවස්ථාවකදී 'පාරට බැසීමට' සූදානම්ව සිටින පනස්දහසක් පමණ වන උපාධිධාරී සේනාංකයක් ඇතිකරගැනීම වර්තමානයේ මීට හොඳ නිදසුනකි. ඥාතී සංග්‍රහය සහ ගජමිතුරු සංග්‍රහය වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛ අංගයකි. ආණ්ඩුවේ ඇත්තන් පවා එය ප්‍රථික්ෂේප නොකරයි. එය තවත් උපක්‍රමයකි. අනෙක් අතට පොදුවේ රටවැසියන්ට සේවය කිරීමට වඩා මෙම ක්‍රමය ලාභදායකය, පහසුය.

"සරළ උදාහරණයකින් කිවහොත් සිය දෙනෙකුගෙන් යුත් කුලකයකින් බහුතර ඡන්දයක් ලබාගැනීමට අවශ්‍ය අයෙකු, සිය දෙනාටම සාමාන්‍ය ආකාරයට සැලකීම වෙනුවට ඔවුන්ගෙන් හරි අඩක් තෝරාගෙන ඔවුන් හොඳින් තෘප්තිමත් කර අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමට සමානය. එවිට අසතුටින් සිටින්නවුන් පිලිබඳ සිතීම අවශ්‍ය නොවේ"

මෙය අන් කිසිදු නායකයකු නොගිය නව මානයකි. ඒ අතින් ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතමයා වත්මන් ජනාධිපතිවරයාය. මෙවන් තත්වයක් පැවතීම තුල ජනතා නැඟිටීම් වලට ඉඩක් නැත. වෙනත් විදියකින් කිවහොත් මෝහනයට ලක් වූවන්ගේ හැසිරීමට වෙනස් හැසිරීමක් ඔවුන් නොපෙන්වයි.

අනෙක් කරුණ වන්නේ විපක්ෂයේ දුර්වලතාවයයි. විපක්ෂය දුර්වල වූ විට ජනතා නැඟිටීම්වලට ඇති ඉඩකඩ අවම වේ. කෙ‍සේ වුවත් මෙම තත්වයටද හේතුව පාලන ක්‍රමය මිස අනෙකක් නොවේ. ආණ්ඩුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නොව විපක්ෂයද පාලනය කිරීමේ හැකියාව විධායක ජනාධිපතිධූරයේ සිටින්නාට නිතැතින්ම හිමිවේ. ලංකාවේ අද විපක්ෂයේ දුර්වලතාවයට හේතුව මෙයයි. මෙහිද අවසාන ප්‍රතිඵලය ජනතාවගේ නැඟිටීම ප්‍රමාද වීමයි.

මෙවන් පාලනයක බිඳවැටීම (බොහෝවිට) සටහන් වන්නේද වෙනස් ආකාරයකටය. එනම් අභ්‍යන්තර පිපිරීමක ප්‍රථිඵලයක් ලෙසය. මේ සමඟම නිද්‍රාශීලී ජනතාවගේ යම් පිබිදීමක් ඇතිවේ. තම පාලන කාලයේ කල කී දෑට සමානුපාතිකව ලැබෙන ප්‍රතික්‍රියාවද සකස් වේ. ඉන්පසු බිහිවන නව රජය (වෙනසක් නොවුවහොත්) ගමන් කරන්නේද පෙර කී ලෙසමය.

පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් පලවිය. එහි ලියුම්කරුවාට අනුව ලංකාවේ ජනතාවට ඇත්තේ ඒකාකාරී වූ ප්‍රශ්න නොවේ. ගොවියාට එක් ප්‍රශ්නයක් ඇතිවිට ධීවරයාට ඇත්තේ තවත් ප්‍රශ්නයකි. කම්කරුවාට ඇත්තේ හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයකි. විවිධ වූ ප්‍රශ්න ඇත්තන් එකට එක් නොවන තත්වයක් තුල වාසිය හිමිවන්නේ ආණ්ඩුවටය. ඕනෑම තැනකට ගොස් මිනිසුන්ගේ ඇ‍ඟේ එක් එක් තැන් වලට අනිමින් කිතිකවමින් විහිළු කරමින් සිටීමට ජනාධිපතිවරයාට හැකිවී ඇත්තේ එබැවිනි.

දැනට පවතින දේශපාලන තත්වය සලකා බැලූ විට තවත් කාලයක් ජනතාව කිතිකැවීමේ වාසිය මහින්ද රාජපක්ෂ මහතා සතුය.

Thursday, April 18, 2013

දෙමළ ඊලාම් බෙදුම්වාදීන්ටත් දකුණු ඉන්දියාවටත් මුහුණ දෙන්නේ මෙහෙමයි-Guerrilla marketing by රාජ්

දෙමළ ඊලාම්වාදීන්ටත් ගෝලීය දෙමළ ඩයස්පෝරාවටත් ඒ විතරක් නෙවේ අපිට අංචි අදින ඉන්දියාවේ ජයලලිතා, කරුණානිධි, වයිකෝ සහ පැන්ෂන් ගිය නළුනිලියන් සෙට් එකටත් උණ ගැනෙන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නයි මේ හදන්නෙ. ඉන්දියාව අපේ ලොකු අයිය උනාට, ලංකාව ඉන්දියාවෙ චුටි නංගි උනාට අයිය නංගිව අඬවන එකමනෙ වැඩේ. මේ කේස්එක අතීතයේ ඉඳල තියන එකක්. ඉන්දියාව ලංකාවට කිට්ටුවෙන් තිබීම තමයි මේ කේස් එකට මූලික හේතුව. අන්න ඒකට තමයි මේ වැඩපිලිවෙල. හේතු ප්‍රත්‍යටම විසඳුම දුන්නම හරි.

කරන්නෙ මේකයි. ලංකාව ඉන්දියාවෙන් ඈතට ගෙනියන එක. පුදුම වෙන්න එපා මේක කරන්න පුළුවන් දෙයක්. මෙන්න මේ සිතියමේ තියන විදියට මම ලකුණු කරල තියන ස්තානයට ලංකාව ගෙනිහින් තිව්වනං එච්චරයි. රතුපාට කරල තියන තැන මදි නං කොලපාට කරල තියන තැනට ගෙනියනව. ඒක කරන්න ක්‍රම දෙකක් තියනව.

පලමු ක්‍රමය-පාවීමේ ක්‍රමය.

කරන්නෙ ලංකාව ඒ හැඩයටම තියෙද්දි උතුර පැත්තෙන් පස් කපල දකුණ ගොඩකරන එකයි. ටික ටික කරනකොට ඉබේම ලංකාව පාතට වෙනව. මෙන්න මේ පිංතූර තියන විදියට කලාම හරි. තේරුම්ගන්න පුළුවන් නේද?

මේ විදියට ලංකාව ටිකක් පහලට ගත්තොත් වාසි කිහිපයකුත් තියනව.
$ නැව් මාර්ගයක් ආසන්නයට ගත්තොත් ඒකම ඇති හම්බන්තොටට නැව් සිය ගානක් ගෙන්නගන්න.
$ මහාද්වීපයට දුර නිසා මුහුදෙ ගැඹුර වැඩියි. ඒ නිසා ගල් තිබුන කියල නැව් වලට බාධාවක් ඇතිවෙන්නෙත් නෑ.
$ වැඩිපුර මාළු අල්ලගන්න ධීවරයන්ට පුළුවන්.
$ සමකයෙන් ටිකක් පහලට ගෙනගියොත් දැං තියන රස්නෙත් අඩු වෙයි.
$ නගර නිර්මාණය-පාරවල් නිවැරදිව අලුතෙන් කරන්න පුළුවන්.
$ ඕනනං යුරෝපය හරි ඇමරිකාව පැත්තට හරි කිට්ටු වෙන්න පුළුවන්.
$ [අර කට්ටිය කැමති නං] තෙල් තියන මැද පෙරදිගට උනත් යන්න පුළුවන්.

තේරෙනව නේද තියන වාසි. ජයලලිතලට හුලං තමයි ඊට පස්සෙ!

දෙවනි ක්‍රමේ තමයි උඩුකුරුඥ්ඥං ක්‍රමය.

මේකෙත් සංකල්පය අරකම තමයි. වෙනස තියෙන්නෙ ලංකාව අලුතෙන් හදන්නෙ උඩු යටිකුරු කරල වීම. මෙන්න මේ විදියට

මගේ නං යෝජනාව මේ ක්‍රමේට මොකද ලෝකෙ අනිත් හැම රටක්ම යට පැත්තට උල්වෙලා ඉද්දි අපි විතරක් ඇයි උඩ පැත්තට උල්කරගෙන ඉන්නෙ.

Wednesday, April 17, 2013

අවුරුදු කේක්, අවුරුදු මැසේජ් සහ අවුරුදු කතා

(අවුරුද්ද ඉවර නමුත් කතන්දර ඉතුරුයි). අවුරුදු කේක් කොහොමද? ඉස්සරම, ඒ කියන්නෙ මංතුමා පුංචි එකා සංදියේ අපේ ගම් පලාත්වල කේක් තිබුනෙ නෑ එච්චරම. අපේ උපන්දිනයට උනත් අම්ම හැදුවෙ ඔය කැවුම්, වැලිතලප වගේ දෙයක් තමයි. බහුජාතික කේක් බෝවුනේ ඊට පස්සෙ කාලෙක. ඊ‍ට පස්සෙ කැවුම් කොකිස් දොදොල් වලට වඩා කේක් වලට හිමිවුනේ උසස් තැනක්. රුපියල් තිස්පහක් ‍විතර වෙච්ච කේක් ගෙඩියක් අරගෙන එන එකා කැවුම් කොකිස් මල්ලක් අරගෙන එන කෙනාට වැඩිය සැලකුම් ලැබුව. මේ වෙනකොට ආයෙත් වැඩි ඉල්ලුම තියෙන්නෙ කැවුම් කොකිස් වලට තමයි.

ඉස්සර අපේ ගෙදරට එන අවුරුදු කේක්-බිස්කට් වල ජාතකේ හොයන පුරුද්ද මටයි අක්කල දෙන්නටයි තිබුන. වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. ඔන්න කේක් එකක් අරගෙන ආව කියල හිතමු තාත්තගෙ පැත්තෙ ඥාතියෙක් වෙච්ච "සුදු ආච්චි". ඊලඟට ඒකෙ නිෂ්පාදකයා හොයාගන්නව. අපි හිතමු "මහබාගෙ" පැත්තෙ හදපු එකක් කියල, ඊට පස්සෙ අම්මට තාත්තට කියනව විස්තරේ.
"හා එහෙනං ඕක සුදු ආච්චිගෙ ලේලිගෙ ගමෙන් ගෙනාපු එකක්"

දැක්ක නේද ලින්ක් එක හොයාගන්න හැටි!

එක සැරයක් ඔන්න අපේ ගෙදරට ආව කේක් එකක්. ගෙනාවෙ සුදු ආච්චි කෙනෙක්. ඒ වෙලාවෙ අපේ ලොකු තාත්තත් ගෙදර. ආච්චි ගිය ගමන් මමයි අක්කල දෙන්නයි සුපුරුදු පරීක්ෂණය පටන් ගත්ත. මේ අතරෙ ලොකු තාත්තත් කේක් එකට ඔලුව දැම්ම.

"හහ් හහ් හහ් හා.... මේක අපේ ගෙදරින් සුදු ආච්චිලගෙ ගෙදරට දුන්න කේක්එක බං, ඕක අපේ ගෙදරට ගෙනාවෙ ලොකු අම්මලෑ ගෙදරිං"

හොඳම සිද්ධිය ඒක නෙවේ. කවුරුහරි කේක් එකක් ගෙනාපු ගමන් ඒක කපන්න යෝජනා කරන අපි, මේසැරෙත් ඒ යෝජනාව අපේ අම්මට ගෙනාව. අම්මගෙ උත්තරේ උනේ,

"බෑ ඒක ලොකු තාත්තලගෙ ගෙදර ගෙනියන්න තියාගනිමු" කියන එකයි. සම්පූර්ණ වටයක් ගෙවන්න තිබුනු අවස්තාව කේක් එකට මිස් වුනේ නූලෙන්.

හුඟක් විට 'කේක් ගෙනාපු තැන් වලට කේක්, කැවිලි ගෙනා තැන් වලට කැවිලි' වගේ රිටන් එකක් තමයි අපේ අම්මලගෙන් ලැබුනෙ. මේ වෙද්දි නං කේක්-කැවිලි වලින් මිදිල සීනි, කිරිපිටි වගේ අත්‍යාවශ දේවල් අවුරුද්දට ගෙනියන්නෙ.

අපේ අල්ලපු ගෙදර හිටිය චූටි මාම කියල කෙනෙක්. භීෂණ කාලෙ මෑන් මැරුන. ඔන්න දවසක් අවුරුද්ද දවසක චූටි මාම දෙකක් දාගෙන නිදි. මේ වෙලාවෙ ගෙදරට කවුදෝ ආව. චූටි මාමගෙ නංගි, අයියට කතා කලා.
"අයියේ කවුද ඇවිලිල?"
"මොකුත් ගෙනල්ලද?"
"පේන්න නෑ"
"එහෙනං යන්න කියපං"

කේක් වගේම වටේ යන අනිත් ජාතිය තමයි අවුරුදු එස්එම්එස්. මටත් අවුරුදු එස්එම්එස් කීපයක්ම ආව. නෝනට ආපු ලස්සන එස්එම්එස් එකක් තෝරගෙන ඒක මට එවාගෙන ඒක තමයි මම අර උදවියට යැව්වෙ. අවුරුදු තෑගි වගේම මේවත් ඔහේ යනව එනව විතරයි. එහෙම බැලුවම "OYATATH PAWLE SAMATATH KIRIYEN PENIYEN ITHIRENA SUBA ALUTH AWRUDDAK WEWA" වගේ අවංක මැසේජ් හොඳයි ඔක්කෝටම වැඩිය. (මේක දැක්කම මතක් වෙන්නෙ අර කැපිටල් ඇනෝ අංකල්). එක සැරයක් මම මට ආපු මේවගේ මැසේජ් එකක් එක එකාට ෆෝවඩ් කලා. (හරියට මහන්සි වෙලා ටයිප් කලා වගේ).

මගේ යාලුවෙක් අවුරුද්ද නිමිත්තෙන් මැසේජ් එකක් හැදුව.(මටත් එව්ව දැන් මතක නෑ). මැසේජ් එකේ පේලි වල මුල් අකුරු සෙට් කලාම එන්නෙ උගේ නම. ඔන්න මැසේජ් එක යැව්ව හතර අතේ. දවල් වෙනකොට මෙන්න බොලේ ඒ මැසේජ් එක යාලුවට ආපහු එනව. මොකා නමුත් නොදන්නා කමට එවල.

මේ අවුරුද්ද දවසේ කිරිබත් එහෙම කාල මංතුමා බ්ලොග් එකේ සුභපැතුම් පෝස්ටුව ටයිප් කරනව.
"ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාටත්.........." මේ වෙලාවෙ නෝන ලඟට ආව,
(කට පොඩ්ඩක් ඇල කරල)"ජනාධිපත්තුමාටත් සුභපතනව වගේ"
"දන්න කියන මනුස්සයනේ, අනෙක අවුරුද්දට ඔය තරහමරහ තියාගන්න හොඳ නෑනේ..."
ටික වෙලාවකින් මැසේජ් එකක් ආව ජනාධිපතිතුමාගෙන්.

Oba Samata Suba Nawa Vasarak Weva!
Ungal Anaivarukkum Puththandu Nalvalthukkal!
Wish You All a Very Happy New Year!
-President

"මෙන්න බලන්න. ජනාධිපතිතුමා මගේ බ්ලොග්එක කියවල. කමෙන්ට් නොදා ඒකයි මේ මැසේජ් එකක්ම එවුවෙ! "

Sunday, April 14, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාටත් ඔහුගේ පවුලේ සැමටත්, රටවාසීන්ටත්.....
සිංහල බ්ලොග් අවකාශයේ සහ ෆේස්බුකියේ සැරිසරන්නාවූ මාගේ මිතුරු මිතුරියන්ටත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා!



-රාජ්

Thursday, April 11, 2013

පෝලිමක් දාමුද?.......

ඊයෙ ගියා පෙට් මැසිම ලඟට පඩිය ගන්න. අප්පට හුඩු! පොලිම මීටර සීයක් විතර ඇති. බදාදා කඩපොලට ආපු මනුස්සයො බඩු මළු උස්සගෙන පෝලිමේ. ඔය සීන්එක අපේ බැංකුව ලඟකදි ඉඳල දියත්කල වැඩපිලිවෙලක ප්‍රතිපලයක් විදියට වෙච්ච කේස් එකක්. අතගාල වැඩිවුනාම අර මොකද්ද යනව වගේ ප්‍රතිපලේ පොලිම. පෝලිම කිව්වම ඉතිං ඉස්සර තිබුන පෝලිම් යුගයක්. 70-77 අම්මගෙ ආණ්ඩුව කාලෙ බැටරි කෑල්ලක් ගන්නත් පරණ බැටරිය තියාගෙන පෝලිමේ ඉන්න උනාලු. ඉස්සර මේ පැත්තෙ ගාමන්ට් එකක් ඕපන් කරන්න ආපු ප්‍රේමදාස මහත්තය කිව්ව විදියට ඔය පෝලිම් වලදි සමහර අම්මලාට බබාල ලැබුනලු. කොහොමහරි ඔන්න ඒ කාලෙ සමූපකාරයක තිබුනලු මොනවද පෝලිමක්. සෑහෙන දිගයිලු. එක මරුමුස් ඩයල් එකක් ටික වෙලාවක් පෝලිමේ ඉඳල බනිනවලු මැනේජර්ට. මෑන් ඒ වෙද්දිත් ටිකක් අනුමත වෙලා ඉඳල තියෙන්නෙ.

"අරි! මං මේක මැනේජරෙයත් එක්ක බේරගන්නංකො" කියපු මෑන් ගියාලු පිටිපස්ස පැත්තෙන්.
ඊට විනාඩි දහයකට විතර පස්සෙ මෙන්න බොලේ මෑන් හිමීට පෝලිමේ පිටිපස්සට ඇවිල්ල සෙට්වුනාලු. මේ අතරෙ ටිකක් කට තියන මහත්තයෙක් ටෝකක් දුන්නලු.

"ඇයි ආපහු පෝලිමට ආවෙ?"

"කොඒද බොෂ්, ඌට ගේම දෙන්ඩ ඉන්න එවුන්ගෙ පෝලිම මේවගේ තුනක් විතරෑති"

ඉස්සර අපි අට වසරෙ විතර ඉන්න කාලෙ සාපෙල හිටිය අයියල අක්කලගෙ විවාදයක් සංවිධානය කලා. ඒ කාලෙ දැං වගේ විවාද ටීම් හිටියෙ නෑ ඉස්කෝල වල. ඒකට දැං. ඕන ඉස්කෝලෙක ඉන්නව විවාද ටීම් එකක්, ඒ මදිවට දැං හැමතැනම බිග් මැච්. හරි ඔය විවාදෙ කලේ විවෘත ආර්තිකේ හොඳයි-නරකයි විදියට. එක අයියකෙනෙක් කියනව මෙහෙම.

"ගුරු මව්වරුනි පියවරුනි නංගී මල්ලී 70-77 කාලෙ බඩු ගන්න බැරිවුනේ අපිට විතරයි. දේශපාලනය කරපු අපේ මාම කෙනෙක් ඒකාලෙ ගිහිල්ල තිබුන ඇමතිකෙනෙකුගෙ ගෙදර. යනකොට ඇමතිතුමාගෙ ‍ගෙදර ලඟ පාරෙ අලුත්ම අලුත් ටයර් එකක් පදිනව ඇමතිතුමාගෙ ලොකු පුතා,.....(ඒ කාලෙ ටයර් එකක් ගන්න උපරිම කට්ටක් කන්න වෙනව, ටයර් පැදිල්ල ගැන ඔහේල දන්නවද මංද!)...ගේට්ටුව ඇරගෙන ඇතුලට යනකොට ඇමතිතුමාගෙ දුව යාලුවො එක්ක මිදුලෙ ලීකෙළි ගහනව උම්බලකඩ පොලු වලින්...... ඒක බලාගෙන කුස්සිය පැත්තට ගියාම චූටි දුව පරිප්පු වලට වතුර දාල කෝම්පිට්ටු හදනව......අන්න එහෙමයි ආර්තිකේ..."

ළමයි හිනාවෙනව ආතල් එකට. ගුරුවරු හිනා වෙනව 'මුගේ පණ්ඩිතකම' කිය කිය.

කතාවෙන් කතාවෙන් බැංකුවෙ කතාව අමතක වෙනව. පඩි දවසට එහෙම අපේ බැංකුව හරි බිසි. එහෙම දවසකට පොල දවසක් සෙට් උනොත් සොරි තමයි. ඔන්න ඊයෙත් ඒ වගේ. හේතුව මේකයි. මේ පැතිවල එච්චර සල්ලිබාගෙ තියන මිනිස්සු නෑ. කීයක් හරි හොයාගෙන ටිකක් බැංකුවෙ දාල අනිත් ඒවයෙන් තමයි බඩු ගෙනියන්නෙ. හුටා! සල්ලි ඇතත් නැතත් කරන්නෙ ඕකනේද. අර එකෙක් කිව්ව උගේ කුඹුරෙ ගොයම් කපල පාගල අවසානයේ, "වැඩක් නෑ බං කන්නයි විකුණන්නයි විතරයි තියෙන්නෙ" කියල. කොහොමහරි පොඩි පොඩි ගනන් ගන්න බැංකුවට එන මිනිස්සුන්ට ඇප්ලිකේෂන් පුරවල දීල පෙට් කාඩ් එක ගන්න වැඩ සලස්වනව. මේ වැඩේ මාස ගානක ඉඳල කලාට පස්සෙ බැංකුවට යන්නෙ ලයිට්බිල ගෙවන්න විතරයි. ගැජමැටික් ගැන තියා සාක්ෂරතාවයවත් නැති මිනිස්සුන්ට කාඩ් එකෙන් සල්ලි ගන්න තේරුමක් නෑ. ඉතිං පෙට් එක ලඟ පරක්කුව ඩබල්. සමහර මනුස්සයො ලඟ ඉන්න කෙනෙකුට කියල තමයි සල්ලි ගන්නෙ. එක දවසක් මම වයසක අම්ම කෙනෙකුට සල්ලි අරන් දුන්න. කාඩ් එකේ පින් එකත් ඒක ඇතුලෙ තිබුනෙ. අන්තිමට වෙන්නෙ මේවගේ වැඩ තමයි.

පොලිං ගැන කිව්වම මතක් උනේ මම ඉස්සර ගියා ඉංග්‍රීසි පංතියකට. සර් කියනව වාක්‍ය හදන්න වාක්‍ය වලට ඕනවෙන වදන සහ ඒවායේ අකුරුත් කියල දෙනව. ඔන්න 'පෝලිම'ට කියන්නෙ මොකද්ද කියල ඇහුව. සර් කිව්ව කිව් කියල. ඊට පස්සෙ අකුරු මොනවද කියල අහනව.
"කිව්යූඊයූඊ" කියල කිව්ව. කාටවත් තේරුනේ නෑ මේ කියන කුනුහබ්බෙ මොකද්ද කියල. ආයෙත් ඇහුවම ඒ උත්තරේමයි. පස්සෙ බෝඩ් එකේ ලියල පෙන්නන්න උනා. ඔහෙලටත් ඕන්නං ඔය වඩනෙ සද්ද කරල බලන්න. අකුරු ටිකක් කියල හිතාගන්න බෑ කොහොමටවත්.

පෝලිං කතා ඉවරයි. හැබෑට ඔහේල පෝලිං දාල නැද්ද?

Monday, April 8, 2013

අයියෝ බැනුං අහන අරක්කු!

අපේ මිනිස්සු බොන්න දන්නෙ නෑ කියල කිව්වෙ මහාචාර්ය මාතලන්. බොන වෙලාවට කන්නෙ නෑ කිව්වෙ කතන්දර සූරීන්. ඔය දෙකම හරි කියමුකෝ. බීල කාල ඉවර උනාට පස්සෙත් නිකං ඉන්න බෑ නොවැ අපේ එවුන්ට. අද කියන්න යන්නෙ බිව්වට පස්සෙ කතා පෙට්ටිය ඕපන් කරන එවුන් ගැන. බ්ව්වට පස්සෙ කතාබහ ටිකක් විතර වැඩිවෙනව බොහෝ දෙනෙකුගෙ. මේ අතරිනුත් "එකෝ" උදවිය, ඒ කියන්නෙ එකම දේ කියවන උදවියත් එක්කනං වසනව බොරු.

ඔන්න මමයි රවි අයියයි අපේ සගයෙක් වෙච්ච චන්ද්‍රසිරි මහත්තයයි රාලහාමි කෙනෙක් එක්ක සෙට්වුනා. මේ රාලහාමිට උවමනාව තිබුන අපේ කස්ටිය ගෙනල්ල "සලකන්න". අදාල දවසේ වැවක් ලඟ සෙට්වුනා. කොහොම උනත් රාලහාමි එච්චර බොන මනුස්සයෙක් නෙවේ. ටික වෙලාවක් යද්දි රවි අයියට තියන ඥාති සම්බන්ධයක් ගැන රාලහාමි කියවන්න පටන් ගත්ත.

"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
ඔන්න තව ටිකක් ඉන්නව,

‍"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
.................................................
.................................................

ටික වෙලාවක් ගිය තැන රවි අයිය යන්න ගියා මොකද්දෝ වැඩක් තියනව කියල. දෙයියනේ කියල අපි සංතෝසවුනා, මොකද රාලහාමිගෙ කට වැහෙනවනේ. ඒත් සිද්ධවුනේ කවුරුවත් හිතපු නැති දෙයක්,

"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
....................................................
....................................................

කරන්න දෙයක් නැති තැන අපි බීම නවත්තල ආව.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

දෙවනි කතාව සිද්ධවුනේ යාළුවෙකුගෙ වෙඩිමකදි. චන්දරේ කියන්නෙ මගේ බැචා විතරක් නෙවේ, රූමා. උගේ වෙඩිම තිබුනෙ රත්නපුරේ. බැන්දෙත් අපේ බැචියක්. ඒකිගෙ ගෙවල් අපේ ප්‍රාන්තෙට කිට්ටු ප්‍රාන්තෙක. ඔන්න උදෙන්ම ගියා රත්නපුරේ වෙඩිම තිබුන හොටෙල් එකට. 11 විතර වෙද්දි බොන්න සෙට්වුනා. මේ අතරෙ මම දැක්ක එක මේසෙක ඉන්න දැකල පුරුදු ඩයල් එකක්. මෑන්ට කියන්නෙ පැටි අයිය කියල. හොයල බැලුවම මනමාලිගෙ පැත්තෙ ඥාතියෙක්. මම පොඩ්ඩක් කතා කරල ආයෙත් මගේ මේසෙට ආව. ටික වෙලාවකින් පැටි අයියත් ආව මගේ ලඟට.
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා" (ඌ නං අරූගෙ පුතාම තමයි. කරටි කැඩෙන්න ගහල).
තව ටිකක් වෙලා ගියා. පැටි අයිය එනව පුතත් ඇදගෙන,

"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
....................................................

"මේ පුතාල කට්ටියම දැං අපේ ගෙදර එන්න ඕන...... එහෙම නේද මයෙ පුතේ...."

....................................................
"මේ පුතාල කට්ටියම දැං අපේ ගෙදර එන්න ඕන...... එහෙම නේද මයෙ පුතේ...."
....................................................

ඔන්න ඔහොමයි සිද්ධිය. පැටි අයිය ටෝක් දෙනකොට අපේ එවුන් මගේ කන ලඟට එනව,

"මොකද්ද %$$%^$ උඹ මේ කලේ. මොකටද මේ ^$%&^%&$ එක්කරගෙන ආවෙ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේක හොට්ම හොට් සිද්ධියක්. ඊයෙ රෑ සිද්ධවුනේ. ඔන්න අපි තුන්දෙනෙක් මළගෙදරක ගියා. ඒ ගමනට ඉස්සෙල්ල කිව්ව චන්ද්‍රසිරි මහත්තයත් ඇතුලත්. රෑ 7.30ට විතර මළගෙදරට ගියත් දන්න කියන කවුරුත් නෑ. දෙවනි කතාවෙ මම පැටි අයිය සෙට් කරගත්ත වගේ චන්ද්‍රසිරි මහත්තය කවුදෝ වයසක මනුස්සයෙක් සෙට්කලා. උන්නැහේ ඒ වෙද්දිත් හොඳ ගානකට හිටියෙ. දැන් මගේ අතින් අල්ලගෙන කතාව පටන් ගත්ත,
පුතේ..... අපේ ගෙවල් තියෙන්නෙ හතලිස් දෙකේ(ඒ කියන්නෙ ප්‍රදේශයක්). අමරවීර ඇමතිතුමා මගේ අතේ හිටියෙ පොඩි කාලෙ...."
"පොඩි දවස්වල ඇමතිතුමා පොඩියි නේද?" මගෙන් අතුරු ප්‍රශ්නයක්
"මොනව කියනවද පුතේ.... මම මෙහෙම වඩාගෙන හිටියෙ"(ඒ කියන්නෙ හරහට)
"කුට්ටිගලේ පොලිසිය ලඟට ඇවිල්ල ඇල්බට් අයියගෙ ගෙදර කොහේද කියල අහන්න.... ඕන කෙනෙක් කියයි...... නැත්තං පොලිසියට ගිහිල්ල කියන්න........ අපේ ගෙදරට ගෙනත් බස්සවයි(*කේ තමයි)......"

රෑ දොලහ විතර වෙනකල් ඉන්න බලාගෙන මළ ගෙදර ගියේ. 9.30 වෙද්දි ආව‍, අර යෝදයගෙන් බේරෙන්න බැරි කමට. හැබැයි චන්ද්‍රසිරි මහත්තය නං මගෙන් දෙකක් අහගත්ත.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

2011 මේවගේ කාලෙක තමයි මංතුමා බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ. ආපු හැමෝටම ස්තුතියි!

Thursday, April 4, 2013

දෙව්දත් නිකාය ඉදිරියේ ථේරවාදී බුදු දහම.

මේ දිනවල කුමන හෝ රූපවාහිණී විකාශයක රාත්‍රී ප්‍රවෘත්ති නැරඹූ විට අනිවාර්ය අංගයක් දැකගතහැකිය. එනම් උග්‍ර ජාතිවාදී රෝගය සෑදුන උන්මත්තකයන්ගේ සාමකාමී නොවන විරෝධතාවයක්, පහරදීමක්, අලාභහානි කිරීමක් වැනි සිද්ධියකි. මෙහි වඩාත්ම අවධානයට ලක්වන්නේ මහා කාරුණික බුදුරජානන් වහන්සේගේ චීවරය ශරීරයට පො‍රවාගත් අයවලුන් ගිහියන්ට අන්ත ආකාරයට හැසිරෙන බවත් ගිහියන්ට ඉදිරියෙන් මොවුන් ගමන් කරන බවත්ය. අයිපීඑල් තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන් හට කුණු බිත්තර ගහන්න යයි දේශනා කරන ගලගොඩඅත්තේ ඥානසාරගේ පටන් පැපිලියාන ෆැෂන්බග් ආයතනයේ සීසීටීවී කැමරාවට ගල්පහරදුන් චීවරධාරියා දක්වා සියල්ලන් හැසිරෙන්නේ එකම ආකාරයටය. ඊයේ දිනයේ ක්‍රිකට් ආයතනය දක්වා පැමිණි චීවරධාරීන් ඇතුළු අන්තවාදීන් ප්‍රකාශ කලේ පිරිත්නූල් බැදීමට මෙන්ම කැපීමටද ඔවුන් සූදානම් බවයි.


ගිහියන් කෙසේ වෙතත් ශාක්‍ය කෝලිය යුද්ධය සමථයකට පත්කල පරපුරේ පැවිද්දන් පවා මෙසේ හැසිරීමට හේතුව කුමක්ද?
වර්තමාන පැවිද්දා යනු පැවිදි වීමේ මූලික අරමුණෙන් බැහැරවී අන්‍ය අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනුමට වෙහෙසෙන්නෙකි. අද පැවිදි වන බොහෝ කුඩා දරුවන් එක්කෝ දෙමාපියන්ගේ කැමැත්ත මත හෝ ක්ෂණිකව ඇතිවන කැමැත්තට පැවිදි වන්නන් මිස ජීවිතාවබෝධයෙන් පැවිදි වන්නන් නොවේ. එසේම අගහිඟකම් හේතුවෙන් පැවිදිවී අධ්‍යාපනය ලැබීමේ අපේක්ෂාව ඇත්තන්ද බොහෝය. වයස දහඅට ඉක්මවා පැවිදිවූවන් ඇත්තේ අල්පයකි. මෙසේ පැවිදි දිවියට ඇතුල් වන්නන් එක් අවස්ථාවකදී තීරණාත්මක අවස්ථාවකට එළඹේ. එනම් තම පැවිද්ද තවදුරටත් රැකගන්නේද නැතිනම් ඉන් ඉවත් වන්නේද යන කාරණයට ඔහු මැදිවීමයි. මෙහිදී උපැවිද්ද තෝරාගන්නවුන් ගැන ප්‍රශ්නයක් නැත. ඔවුන් සංඝ සමාජයේ නීතිරීති වලින් මිදී වඩා පහසු ගිහි ජීවිත ගතකරති.

තවදුරටත් පැවිද්ද ආරක්ෂා කරගන්නවුන්, එසේ කිරීමට බලපාන හේතු අතර මූලික වන්නේ ඒ වනවිටත් ඔවුන්ට ලැබෙන සිවිල් සමාජයට කලහැකි බලපෑමේ ප්‍රමාණයයි. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි කාම තෘෂ්ණාවෙන් ඇවිද යන්නා-පහන්සිලට ඇදීයන පළඟැටියා මෙන් මොවුන්ද බලය,ධනය,ලිංගිකත්වය... සොයමින් තව තවත් ලෞකික පක්ෂයට නැඹුරු වීම අනිවාර්ය වේ. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ සංඝ සමාජය ගැන, සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ රීතියෙන් බැඳී ඇති ගිහියන් තුල ඇතිවන කලකිරීමයි.

මේ සංඝ සමාජයට සිංහල බෞද්ධයන් මත ඇතිකල හැකි පීඩනය-බලපෑම කෙමෙන් ගිලිහෙන අවධියකි. උද්ඝෝෂණයකදී බැටන් ප්‍රහාරයට ලක්වන ස්වාමීන් වහන්සේලාද ඔවුන් අතින් ටොකුපහරට ලක්වී හිස් වැසුම අහිමි කරගන්නා ‍පොලිස් නිලධාරියාද මේ සියල්ල රූපවාහිණියෙන් නරඹන සාමාන්‍ය මිනිසාගේ අගෞරවයට සංඝ සමාජය ලක්වීම පාලනය කිරීමට නොහැකිය. පසුගිය සමයේ සංඝ්‍යා වහන්සේලා මැතිවරණයට තරගකිරීම මෙය තවත් තීව්ර කිරීමට හේතු විය. මේ වනවිට කතෝලික අගරදගුරුගේ කේවල් කිරීමේ බලයටත් පහලින් සංඝ්‍යාගේ බලය පැවතීමේ හේතු මේවාය.(අගරදගුරුගේ බලය පහලින් තිබිය යුතු යයි මින් අදහස් නොකරමි).මේ කුණාටු හමුවේ තවදුරටත් තම බලය රැකගතයුතු යයි සිතන චීවරධාරීන්, ගොදුරුකරගැනීමට ඉතාමත් පහසු, අන්තවාදීන් තම ක්‍රියාදාමයට එක් කරගනී. ඉන්පසු ඇතිවන තත්වයයි මේ වනවිට අපි දකින්නේ.

මේ තත්වයට හේතුවන අනෙක් ප්‍රධාන හේතුව රජයේ ක්‍රියා කලාපයයි. ඉන්ධන මිල වැඩිවීමෙන් පටන්ගන්නා භාණ්ඩ මිල ඉහල යාමත් සමඟ ඇතිවිය හැකි ජනතා අසහනයත් ගොවියන් ධීවරයන් වැනි සමාජයේ බහුතරය නියෝජනය කරන ස්ථරවලින් එල්ල විය හැකි විරෝධතා සමනය කිරීමටත් යම් ක්‍රමවේදයක අවශ්‍යතාවය පවතී. කිහිප වරක් බලයට පත්වීමේදී මෙන්ම බලය පවත්වා ගැනීමේදී භාවිතා කල-කලහැකි ලෙහෙසිම ක්‍රමවේදය දේශප්‍රේමය බව පසක්කොට ගැනීමට රජය සමත්වී ඇත. පොලිස් නිලධාරීන් ඉදිරියේදී අන්‍යන්ගේ දේපලවලට හාණිකොට පසුව සමාදානය ඇතිකරගැනීමට ආශිර්වාද කිරීමට තරම් බලයක් ඇත්තේ පවතින රජයට පමණි. එහිදී තාවකාලික වශයෙන් රජය සාර්ථකය. බඩුමිල ගැන වොයිස් කට් නැතත් හලාල් ගැනත් අයිපීඑල් යන අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් එරෙහිවත් ඕනෑතරම් වොයිස්කට් ප්‍රවෘත්ති තුලින් නැරඹිය හැකිය. මොවුන්ගේ තාවකාලික ක්‍රියාකාරකම් හමුවේ ආණ්ඩුව නිහඬවුවද මීලඟ මානව හිමිකම් කොමිසම හමුවේ වන්දි ගෙවීමට සිදුවන්නේ පොලියත් සමඟය. මෙම තත්වයේ ඇති වඩාත් අයහපත් බලපෑම නම් මධ්‍යස්ථ මතධාරීන්ට මොවුන් නිසා තම මතය ඉදිරිපත් කිරීමට ඇතිවන බාධාවයි. උදාහරණ ලෙස අන්තවාදී ලෙස මුස්ලිම් විරෝධයේ යෙදෙන සිංහලයන් වැඩිවත්ම මුස්ලිම් ආගම ගැනත් කුරාණය ගැනත් සාධාරණ ලෙස සංවාද කලවුන්ට තම කාර්ය කල නොහැකි තත්වයක් ඇතිවීමයි. [බ්ලොග් අවකාශයෙන්ම උදාහරණ දිය හැකිය -බුවාට දැන් කතා කිරීමට සිදුව ඇත්තේ කුරාණයේ අවුල් ගැන නොව අයිපීඑල් විරෝධීන් ගැනය].

මේ වනවිට බෞද්ධයන් ප්‍රථිශතය ලෝක ජනගහනයෙන් සීයට හයක් පමණ පිරිසකි. එයින්ද වැඩි කොටස මහායාන ධර්මය අදහන්නන්ය. යුරෝපයේ බෞද්ධයන් සීග්‍රයෙන් වැඩිවන බව අප පුරසාරම් දෙඩුවද ඉන් බහුතරයද මහායානිකයන් මිස ථේරවාදීන් නොවේ. Tuesday Lobsang Rampa නමින් ටිබෙට් දේහයේ පැවිදි වී ලෝක ප්‍රසිද්ධ වූ මහායාන භික්ෂූන් වහන්සේ(ගිහි නම Cyril Henry Hoskin) තම Tird eye නම් ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි ඔහු පැවිදි වීමට මහායානය තෝරාගන්නේ මහායාන භික්ෂූන්ගේ ඇති තැන්පත් ගතියත් සාමනේර භික්ෂූන්ට පවා ගරුකරන ස්වභාවයත් නිසාය. එබැවින් යමෙක් ථේරවාදයේ ආරක්ෂාව ගැන කථා කරන්නේ නම් ඔහු කලයුත්ත බුදුන් වහන්සේ දෙසූ ධර්මයට අනුකූලව හැසීරීම මිස අන්‍යාගමිකයන්ට ගල් ගැසීම නොවේ.

Tuesday, April 2, 2013

ටෙන්ඩර් (දෙවන කොටස)

පළමු කොටසින් අපි කතා කලේ ටෙන්ර් හෙවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක පැත්ත ගැනයි. මෙම කොටසේදී ප්‍රායෝගික අත්දැකීම් ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වේ.
පසුගිය සටහනට පසුව අදහස් දැක්වූ බොහෝ දෙනෙකු කී පරිදිම නීතියෙන් රිංගා යාමට විවිධ උපක්‍රම භාවිතා කරයි. මේ ඉන් කිහිපයකි.

එක් භාණ්ඩයකට අනන්‍යවූ පිරිවිතර(specification) යොදා මිල කැඳවීම.
මෙහිදී සිදුවන්නේ කලින් හඳුනාගත් යම් භාණ්ඩයකට අදාල යම් යම් ලක්ෂණ මිල කැඳවීම් ලිපියට ඇතුලත් කිරීමයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස අදාල භාණ්ඩය පමණක් ඉතිරිවන ලෙස අනෙකුත් සියල්ල ඉවත් කලහැකිය. මෙය කාඩ් කුට්ටමෙහි සලකුණු යොදා කරන සූදු ක්‍රීඩාවට සමානය. නීතියෙන්ද රිංගා යා හැකිය :)

එකම ස්ථානයකින් මිල ගනන් කැඳවීම.
සමහර ව්‍යාපාරිකයන් සතුව ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරයට අමතරව තවත් ලියාපදිංචි ව්‍යාපාර නාම ඇත. එවන් ස්ථානයකින් නීත්‍යානුකූල ලෙස මිල කැඳවුම් තුනක්(අවම වශයෙන්) ලබාගත් විට ඕනෑම භාණ්ඩයක් නීතිමය රාමුව යටතේම මිලදීගැනීමට හැකිය.

කලින්ම විවෘත කිරීම.
මෙය සිදුවන්නේ මිල ගනන් භාරදුන් ආයතනවල නියෝජිතයන් සහභාගී නොවන අවස්ථාවලදීය.

රජයේ කොන්ත්‍රාත්
ප්‍රසම්පාදන විෂය සම්බන්ධව ඇති චෝදනා බහුල ක්ෂේත්‍රයක් වන්නේ ඉදිකිරීම්, මාර්ග නඩත්තු, පාලම් බෝක්කු ඉදිකිරීම වැනි ව්‍යාපෘතීන්ය. ප්‍රාදේශීය පාලනය යටතේ පවතින මෙවැනි දෑ සම්බන්ධ කොන්ත්‍රාත් කරුවන් වන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් බව ඔබ දකින්නට ඇත. මීට හේතු වන්නේද නීතියෙහි පවතින යම් යම් අඩු ලුහුඩුකම්ය. උදාහරණ ලෙස යම් ගමක සිදුකලයුතු මාර්ග අළුත්වැඩියා කටයුත්තක් එම ගමේම ඇති සමෘද්ධි සමිතියකට හෝ ගොවි සමිතියකට ලබාදිය හැකිය.(කොන්දේසි සහිතව). ගම්වල අක්‍රිය තත්වයේ ඇති මෙවන් බොහෝ සමිතිවලට මෙවැනි කොන්ත්‍රාත්තුවක් කිරීමේ හැකියාවක් නැත. මෙවිට යම් අයෙකු විසින් සමිතියේ නමට කොන්ත්‍රාත්තුව ලබාගෙන කාර්ය සිදුකරන අතර සමිතියේ සභාපතිට ලේකම්ට භාණිඩාගාරිකට සුළු මුදලක් අතමිට මෙලවූ පසු ගණුදෙනුව අහවරය. මෙම නීති වෙනස් නොවන තාක් අක්‍රමිකතා වැලැක්වීම උගහටය.

ටෙන්ඩර් සම්බන්ධ මගේ විෂය පථය වූයේ මිලදීගැනීම් කටයුතු පමණි. මිලදීගැනීම් මූලිකව, කාර්යාලයේ අවශ්‍යතාවයන් සඳහාත් මන්ත්‍රී ප්‍රථිපාදන යටතේ විවිධ සමිතිසමාගම්- පුද්ගලයන්ට බෙදීමටත් මිලදීගන්නා ලදී. කාර්යාලයේ අවශ්‍යතාවයන් සඳහා කල මිලදීගැනීම් සම්බන්ධයෙන් ගැටළුවක් නොවූ අතර ආයතනයේ ප්‍රධානීන්ගේ උපදෙස් අනුව කලහැකි විය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන යටතේ මිලදීගැනීම් සිදුකිරීම තරමක් අභියෝගාත්මක වූ අතර එයට දේශපාලකයින් සම්බන්ධවූ අවස්ථාද විය. මීට කලින් මෙම කටයුතු සිදුකල නිලධාරියා දේශපාලකයන්ගේ අප්‍රසාදයටද ලක්විය. කෙසේ වුවද අපට උපදෙස් ලැබී තිබුනේ "භාණ්ඩය ලබාගන්නා තැතැත්තා සෑහීමකට පත්විය හැකි ආකාරයෙන්" කටයුතු සිදුකරන ලෙසයි. මෙවන් අවස්ථාවලදී වුවද ප්‍රශ්න පැනනැඟීම වැලැක්විය නොහැකි විය. උදාහරණයක් ලෙස යම් සමිතියක් සඳහා ප්‍ලාස්ටික් පුටු මිලදීගෙන ඔවුන්ට ලබාදියයුතු යයි සිතන්න. සමිතියේ ඉල්ලීම X නම් වෙළඳ නාමයේ පුටු ලබාදෙන ලෙසයි. වෙළඳ නාම යටතේ මිල කැඳවීම් කලවිට විගණනයේදී කරුණු දැක්වීමට සිදුවේ. එවිට සිදුවන්නේ සාමාන්‍ය පරිදි මිල කැඳවුම් කර අදාල වර්ගයෙන් පමණක් මිල ගනන් එවන මෙන් වෙළඳ ආයතන වලට දැන්වීමයි.
සමහර අවස්ථා වලදි ප්‍රථිපාදන වෙන්වන්නටද කලින් අවශ්‍ය භාණ්ඩ පිළිබඳව සොයාබලන පුද්ගලයින් ඇත. ඔවුන් කාර්යාලයට පැමිණෙන්නේ "මහත්තය, මම කොටේෂන් තුනකුත් අරගෙන ආවෙ" යයි කියාගෙනය. ඔවුන් අසතුටු නොවන ආකාරයෙන්ද දූෂණයක් සිදු නොවන ආකාරයෙන්ද කටයුතු කිරීමේ හැකියාව නිලධාරියා සතුව තිබිය යුතුය. උක්ත වාක්‍යට පිළිතුරු වාක්‍යක් මා සකස්කරගෙන තිබුනි.
"මෙහෙමයි මහත්තය, අපිට ටෙන්ඩර් ගෙන්නගන්න ඕන තැපෑලෙන්, ලියුම් කවර එහෙමත් තියෙන්න ඕන, හරි ඔයාට ඕන හොඳම බඩුව ගන්න නේද? අපි මේ තැන් වලටත් දාන්නං මීට වඩා අඩු තැනක් ලැබුනොත් එතනිං ගනිමු, නැත්තං මෙතනිං ගනිමු"
එවිට චෝදනාවක් එල්ලවීමේ අවදානම අඩුය.‍

දිනක් එක්තරා තරුණයෙක් මාවෙත පැමිණි අතර ඔහු අපූරු යෝජනාවක් කලේය.
"මහත්තය මං හාව පැන්න ගමේ, අහවල් මන්ත්‍රීතුමාගෙං රුපියල් විසිපන්දාහක් ඇවිල්ල තියනව වතුර මෝටරයක් ගන්න. මට ඒක අහවල් හාඩ්වෙයාර් එකෙං ගන්න බැරිද?"
"ඒ මොකද"
"ඇත්තම කියන්නං මහත්තයට, මට ඕන සල්ලි ගන්න" මෙවන් අවස්ථා බොහොමයක් ඇත. (මේ යෝජනා කරන්නන්ගෙන් බහුතරය සංඝ්‍යා වහන්සේලා(?)ය. වරද මෙම "බඩු බෙදීමේ" ක්‍රමවේදය බැව් හිස අතගා ටොක්කක්ද ඇන ප්‍රකාශ කලේ අරුණි ෂපිරෝය)
"සල්ලි දෙන්න නං අපිට බෑ. ඒ වගේම ඔයා කියන තැනින් බඩු අරන්දෙන්න පුළුවන් කියල පොරොන්දු වෙන්නත් බෑ. මෙහාට බඩු ගෙනල්ල තමයි අපි ඔයාට භාරදෙන්නෙ. ඊ‍ට පස්සෙ අපේ වගකීම ඉවරයි" කතාව එතැනින් අවසන් වූ අතර උපකරණය භාරගැනීමෙන් පසුව එය "මුදල් කලබව" පසුව ආරංචි විය.
තවත් දිනක එක්තරා සංඝ්‍යා වහන්සේ කෙනෙක්ද උක්ත යෝජනාවම කල අතර උන්වහන්සේද හාවා පැන්න ගමේ විහාරස්ථානයේය.
තවත් දිනක මිනිසෙක් පැමිණ එවැනිම යෝජනාවක් කලේය. මා එක්වරම විමසුවේ ඔහුගේ ගම පිලිබඳවය.
"මහත්තයෝ මම හාව පැන්න ගමේ" :)

මේ තවත් හාස්‍යජනක සිද්ධියකි.
දිනක් කාර්යාලයට ආසන්න ව්‍යාපාරික ස්ථානයකින් මිල ගනන් තුනක් රැගෙන නියෝජිතයෙකු පැමිණියේය.
"මෙන්න මහත්තය අර වතුර මැෂින් ගන්න එකට මිල ගනං ගෙනාව" ඒ වනවිට මෙම මිලදීගැනීම මාවෙත පැමිණ තිබුනේද නැත.(හොරාට කලින් කෙසෙල්කැන වැට පැනීම)
"මොකද්ද? එහෙම එකක් මං දන්නෑ"
"මේක දෙන්න කිව්වෙ .........මන්ත්‍රීතුමාගෙ කාර්යාලෙං, එහෙනං මහත්තය ලඟට තාම එන්න නැතුවැති". (අනේ එයාල කොච්චර කාර්යක්ෂමයිද)
"මම මේක තියාගන්නං. මගේ ලඟට ආවම ආයෙත් ටෙන්ඩර් දාන්න ඕන" මිල ගනන් මා තබාගත් අතර මිලදීගැනීම ලක්ෂ හතර හමාරක පමණ විය. එම මුදලින් එක්තරා වර්ගයක වතුර මෝටර මිලදීගතයුතු විය. ආයතන හයක් හතක් පමණ අඩංගුකොට මිල කැඳවඋ අතර අඩුම මිලගනන් ඉදිරිපත් කර තිබුනේ වෙනත් ආයතනයකිනි. මුලින් මා වෙත පැමිණි නියෝජිතයා නැවත මා හමුවිය.
"මහත්තය මේ මැෂින්එක ගෙන්නන්නෙ අපි. අපේ බොස්ගෙ නමේ අකුරු වලින් තමයි මේ xyz නම හැදිල තියෙන්නෙත්. ඉතිං පිට කෙනෙක් අපිට අඩුවෙන් දෙන්න බෑනේ, එක්කෝ මේක හොර එකක් වෙන්න ඕන" ඔහුගෙ කතාව සත්‍ය විය හැකි නමුත් එක් ඒජන්තයෙකු අයිතිකරුටත් වඩා අඩු මිලට සපයයි නම් අපි කුමක් කරන්නද? මා ඔහුට එය පැහැදිලිකල පසු ඔහු පිටවී ගියත් ප්‍රශ්නය අවසන් නොවුනි. ඉන්පසු කතා කලේ මන්ත්‍රීවරයාගේ කාර්යාලයෙනි,
"මහත්තයා අපිට අර වතුර මෝටර වගයක් ගන්න ඕන. ටෙන්ඩර්එක ගිහිල්ල තියෙන්නෙ අහවල් තැනට නෙවේලු නේද?"
"ඔව් ඊටත් අඩුවෙන් මිල ගානක් ඇවිල්ල තියනව"
"ඒ උනාට මහත්තයා අපිට ඕන ඒ වර්ගෙන්, අවුරුද්දක වොරන්ටියකුත් ඕන. ඒක දෙන්නෙ අරගොල්ල විතරයි නේද?"
"ඒ වර්ගෙම තමයි, වොරන්ටිය මාස හයයි දෙගොල්ලගෙම, මේගොල්ලගෙ රුපියල් පනහක් අඩුයි ඉතිං අපිට දෙන්න වෙන්නෙ අඩු තැනට"
"මහත්තය අපිට ඕන අවුරුද්දක වොරන්ටියක් අරගොල්ල කිව්ව දෙන්නං කියල"
"නෑ මට එවපු මිල ගනනෙ තියන්නෙ මාස හයයි කියල. එහෙම උනොත් ආයෙ ටෙන්ඩර් දාන්න වෙනව" ඉන්පසු මා කතාකලේ අඩුව ලංසුකරු වෙතය.
"මහත්තය මම ඇත්තම කියන්නංකො, ඔය මෝටරේ අපි ගන්නෙත් xyzල ගෙන්ම තමයි. මම 50ක් අඩු කරල දැම්ම"
"xyzල කියනව අවුරුද්දක් වොරන්ටි දෙනව කියල?"
"එයාලට එහෙම කරන්න බෑ. එයාල අපිට දෙන්නෙ මාස 6ක වොරන්ටියක්. අපිට එකකුයි තවත් කෙනෙකුට තවත් ගානකුයි දෙනව නං එයාගලෙන් බඩුගන්න එක අපි නවත්තනව"
කෙසේ හෝ නැවත ටෙන්ඩර් කැඳවූ අතර අවුරුද්දක වගකීම් කාලයට අමතරව අනෙක් නියෝජිතයාට වඩා රුපියල් සීයක්ද අඩුකර භාණ්ඩ මිලදීගැනීමට අපට හැකිවිය.

රජයේ ගණුදෙනු බොහොමයකදී දෙසැම්බර් තිස් එක් වැනිදායින් මුදල් වර්ෂය අවසන් වන අතර අන්තිම දිනයේදීද මිලදීගැනීමට අදාල යෝජනා පැමිණේ. මෙහිදී අපට සිදුවන්නේ අඩුම මිලගනන් කෙසේ වුවත්, කෙසේ හෝ මිලදී ගැනීමටය. දුරකථනයෙන් මිල විමසා අදාල චෙක්පත් ලියා පසුව මිලදීගැනීම් සිදුවන අවස්තා බොහෝය.