Friday, April 27, 2012

මී කතුරු, වැඩි දියුණු කල මී කතුරු සහ අලි කතුරු.(තෑගි සහිතයි!)

මී කතුරු කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නෑනේ. හදිස්සියකට මීයෙක් අල්ලගන්න තියන භාණ්ඩෙ නෙව. මීයෙක් කිව්වෙ කකුල් හතරෙ- නැට්ට තියන මීයෙක්. ඔන්න ඔය පිංතූරෙ තියන ජාතියෙ. ඕක සෙට් කරන්න ගියාම හෙන චාටර් එකක් කන්න වෙනවනේ. සමහර විට මීයට අටවන උගුලට අත අහුවීමේ අවදානම වැඩියි.

මේකට විකල්පයක් විදියට තමයි ඇමරිකන් කාරයා ආරක්ෂිත- ඒ කියන්නෙ අපිට ආරක්ෂිත මීයට සොරිවෙන- උගුලක් හැදුව. ඔය දෙවනි පිංතූරෙ තියෙන්නෙ අන්න ඒක තමයි. ඒකෙ තියෙන්නෙ මීය හොල්මන් වෙන විදියෙ වැඩ පිළිවෙලක්. හදාගැනීම සරලයි පහසුයි. ලී කෑල්ලකට ඇන දෙකක් ගහල, කම්බියක් අරගෙන ඒකෙ කොන් දෙක ඇන දෙකට තදකරල දවටනව. දෙපැත්තෙන් තියනව මීය කැමති කෑම ජාති දෙකක්. අපි හිතමු පොල් කෑල්ලකුයි චීස් කෑල්ලකුයි කියල. මීය ඇවිල්ල කම්බියෙන් ඔළුව දාල බලනව පොල් කෑල්ල කනවද චීස් කෑල්ල කනවද කියල. ඌට මොකක්ද කන්නෙ කියල මාරුවෙන් මාරුවට කෑමජාතිදෙක දිහා බලනකොට තිරස්ව ඇදල තියන කම්බියට බෙල්ල කැපිල මැරෙනව. ඔන්න ඇමරිකන් කාරයගෙ මොලේ.

අපි එහෙම හිතුවත් අපේ එවුන් එක්ක බැලුවම ඇමරිකන් කාරය කියන්නෙ කවුද නේද? අපේ එකෙක් ඕක වැඩිදියුණු කලා. මොකද පාන් කන්නත් සල්ලි නැති අපේ රටේ ජනතාවට කොයින්ද මීයන්ට කවන්න චීස්! ඒකෙදි සිද්ධ වෙන්නෙ මෙහෙමයි,
ඇමරිකන් මී කතුරට පොල් වත් චීස්වත් දාන්නෙ නෑ. නිකන්ම කම්බිය ඇදල තියනව විතරයි. මීය ඇවිල්ල බලනව චීසුත් නෑ පොල් කෑල්ලත් නෑ කියල. දෙපැත්ත බල බල ඉන්නකොට ඉබේම බෙල්ලට සොරි වෙනව! ඔන්න අපේ එවුන්ගෙ වැඩ. ඔය තුන්වෙනි රූපෙ තියෙන්නෙ ඒක.
ඊටත් පස්සෙ කාලෙක ඕකෙන් කම්බියත් අයින් කලාලු! මීය ඇවිල්ල නිකන්ම ඔළුව දෙපැත්තට නවල මැරෙනවලු! ඇත්තමයි!

කොහොම උනත් මීයෙක් වගේ පොඩි සතෙකුට මේක හරිගියාට ලොකු සතෙකුට හරියයි කියල හිතන්න බෑනේද? ඒත් ඒක වැරදියි! අපේ දෙන්නෙක් එකතුවෙලා අලියෙක් මරන්න පුළුවන් විදියට මේ යන්තරේ වැඩි දියුණු කලා කිව්වොත් හිතන්න පුළුවන්ද? පුළුවන් කියල හිතුවොත් මොනවද කරන්න බැරි...... පහලට ගිහිං බලන්නකො!














දැං හොද හුස්මක් ගන්න!
















ත්‍යාග:මේකෙ නිර්මාපකයන් දෙන්න කවුද කියල කියන පළමු පස්දෙනාට බොන්සායි ක්‍රමයට කුඩා කරනලද අලියෙකු ත්‍යාග වශයෙන් හිමිවේ!(අනුග්‍රහය ආර්.අනිල් මහතා සහ එස්.ඒ.ජේ.අයි.ටී.එච්. ප්‍රේමදාස මහතා)



පිංතූර: අලින්නෙ ගූගල්ලයි අපේ වැඩ.

Wednesday, April 25, 2012

මැරිල ඉපදුනු හැටි සහ කොම්පියුටර් ජිල්මාට්.

අද උදේ නං මාව මැරෙන්නම ගියා! පාන්දරින් වැඩට ඇවිල්ල කොම්පීතර රාජය ඔන් කරල බ්ලොගේට ආව. ලොග් උනාට පස්සෙ ආවෙ වෙනද දකින්න තිබුනෙ නැති නිකං එක විදියක ගැජට් වගයක් ;-). බ්ලොග් රාජයගෙ ටෙම්ප්ලේට් එක වෙනස්කරන්න අවස්තාවක් දීල තියනව කියල තේරුනා. බැකප් එකක්වත් නැති මගේ බ්ලොගේ ඕව කරන්න ගිහිල්ල නැතිකරගන්න ඕන නෑනේ. මම කලින් තිබුනු එකට යන්න බැලුවත් හරිගියේම නෑ. ඊට පස්සෙ දුන්න පන්සල් හංදියෙ කල්හාරට කෝල් එකක්. ඌ ඒ වෙනකොටත් පාරෙ! අන්තිමට කරුවලේ ගිණිපෙට්ටිය හොයන්න වගේ එහේමෙහේ අතපතගානකොට ඔන්න මුල්පිටුවට ආවා. දෙයියෝ සාක්කි! ෆලෝකරපු එවුනුත් නෑ, බ්ලොග්රෝගත් නෑ, දාල තිපුනු ගැජට් බැජට් ඔක්කොම නෑ. ඒ මදිවට සයිඩ්බාර්එක පළලවැඩියි, කොමෙන්ටු වලට වෙනවෙනම උත්තර බදින්නත් බෑ. ඒත් කොහොම කොහොමහරි අදුරේ අතපතගාද්දි වැඩේ එලටම සෙට්වුනා. ඔන්න ඔහොමයි බ්ලොග්රාජය මේ තියන තත්තෙට ගත්තෙ. මොනවහරි අවුලක් තියනවනං කියන්න. ඒවගේම ඔයාලගෙ බ්ලොග්වල ගැටළු තියනවනං කියන්න...හැහ් හැහ් හැහ්...

මේ ජරමර අස්සෙ තමයි මට මතක් උනේ මේවගේම බෙල්ල ගහලයන-පොලව පලාගෙන යන, කේස් වෙච්ච. එයින් ටිකක් කියන්නං.
මේක සිද්ධ වුනේ 2006-05-23වෙනිද. ඒ කියන්නෙ මම ඉස්සෙල්ලම ජොබ්එකට ගියදවසෙ. මම ගිය කාර්යාලෙන් මට භාරදුන්නෙ පඩි හැදිල්ල. ඒක කරන්නෙ GPS(Government Payroll System) කියන මෘදුකාංගයෙන්. ඒක ඩොස්වල තමයි දුවන්නෙ. 25වෙනිදට පඩි ගෙවන්න මම යන දවස වෙනකොට ඔක්කොම සෙට්කරලයි තිබුනෙ. ඒ දවස්වල ඒක කලේ මට අදාල වැඩසටහන කියල දුන්න අක්ක. අපි දෙන්න කෑමට ගිය අතරෙ ඔපීසියෙ හිටිය වයසක මිස් කෙනෙක් ආව ඒකෙ වැඩ කරන්න. එයා ඒ දවස්වල කොම්පියුටර් කෝස්එකක් කලා. කෑමෙන් පස්සෙ අපි වැඩ කරන්න ආව විතරයි මාර අවුලක් වෙලා තියෙන්නෙ! ඩෙස්ක්ටොප් එකේ තිබුන "ඩොස්" අයිකන්එක නෑ! අක්ක බයවුනා හොදටම, ඇයි ඉතිං දවස් ගනනක් මහන්සිවෙලා හැදුව පඩි විස්තරටිකනෙ. අනිත් කාරණාව ඒ මාසෙදි මොකද්දෝ වෙනසක් හැමෝගෙම පඩිවලට වෙලා තිබුන. අක්ක අඩාගෙන ගියා සර් ලගට! පැමිණිල්ල කලා. සර්නං කිව්වෙ රීසයිකල් බින් එකේ බලන්න කියල. ඒ අතරෙ අනිත් මිසුත් අඩනව. තවත් කට්ටියක් අතින් පඩි ගෙවන්න ‍ලැහැස්තිවෙනව. මම අලුත් එකානෙ කියල පාඩුවෙ හිටිය. කෙහොම උනත් අයිය කෙනෙක් ඇවිල්ල මැසිම restart කලාම හරිගියා. :)

ඊලගට කියන්න යන සිද්ධිය උනේ කැම්පස් එකේ ඉන්න කාලෙ. මම ඉස්සෙල්ලම කොම්පීතරයක් වැඩකලේ ඒකාලෙ තමයි. ඉන්ටනෙට් කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙත් ඒකාලෙමයි. මමයි තව එකෙකුයි පූල්එකට ගිහිල්ල නෝටි පිංතූර වගයක් බලමින් හිටිය. ඒකාලෙ අපේ ෆැකල්ටියට තිබුන වෙනම පූල් එකක්. ඒක ඒසී කරපු කාමරේක තිබුනෙ. අයිඩීඑක දුන්නම කොම්පියුටර් එකක අංකයක් දෙනව. ඒකෙ තමයි වැඩ. මේ අතරෙ මොකක්දෝ එකක් ක්ලික් කලා විතරයි ක්ලෝස් බටන් මොකුත් නැති අක්ක කෙනෙකුගෙ පිංතූරයක් ස්ක්‍රීන් එකට ආව. දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද, වැඩිවැඩ කරන්න ගියොත් ඇඩ්මින්තුමාට අහුවෙනව, එහෙම උනොත් ජීවිතාන්තය දක්වා පූල්එක තහනම් වෙනව. (ඒවගේ තහනම් වෙච්ච එවුන්ගෙ නම් දාලත් තියනව එතන තියන බෝඩ් එකක:) අපි කලේ මොනිටර්එක ඕෆ් කරල ආයෙත් ඔන් කලා. මොන! අක්ක ඉන්නව ඒ විදියටම! ඊට පස්සෙ කලේ මොනිටර්එක ඕෆ්කරල අයිඩී එකත් අරගෙන හොරපූසො වගේ ආවඑක. හැබැයි ඊට ටික කාලෙකට පස්සෙ මම දැනගත්ත මොනිටර්එක ඕෆ් නොකර බිත්තියෙ තියන ස්විච්එක ඕෆ් කලාම වැඩේ හරි කියල :-)

ඊලග කතන්දරය අපේ ඔපීසියෙ එකෙකුගෙ. ඌ මටත් කියල ගත්ත ගෙවීමේ ක්‍රමයට කොම්පියුටර් එකක්. අපේ ඔපීසියට ආව ඒජන්ත කෙනෙකුගෙන් තමයි ගත්තෙ. මෑන්ගෙ ළමයින්ගෙ ප්‍රයෝජනයට ගත්තත් මෙයා කොම්පියුටර් දන්නෙ නෑ. මම ගෙදරට ගිහිල්ල වයර්ටික එහෙම සෙට්කරල දීල කිව්ව වැඩක් නැති වෙලාවට වහල තියන්න කියල, මොකද ඒ පැත්තෙ ධූවිල්ල ටිකක් තියන නිසා. ඊට අවුරුද්දකට විතර පස්සෙ මම ඒ ගෙදරට ගියාම මොනිටරේ විතරක් වහල තියනව. මෑන් හිතල තියෙන්නෙ මොනිටරේ තමයි වටින කොටස කියල.

ඊලග සිද්ධිය උනෙත් ඔපීසියෙදි. එක්කෙනෙකුට සීඩී එකක් රයිට් කරගන්න ඕනවෙලා. අවශ්‍ය ෆයිල්එක තියෙන කොම්පීතරේ රයිටරයක් නෑ. මම ඒබව කිව්වම(ඒකාලෙ පෙන් තිබුනෙත් නෑ අදවගේ) එයා යෝජනා කලා මොනිටර්එක ගලවලා රයිටර් එක තියන එකට එකට සෙට් කරන්න.

ඔන්න ඕව තමයි මතක තියන කතන්දර. මේවායෙන් ඉගනගන්න තියන දේවල් බොහොමයි. කොම්පියුටර් දෙකක් අතර ෆයිල් හුවමාරුවක් අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ මවුස්එකෙන් කොපි කරල මවුස්එක ගලවල අනිත්එකට දාල පේස්ට් කිරිල්ල. එක ඩෙස්ක්ටොප් එකක තියන දෙයක් වෙන එකකට ගන්නත් මොනිටර්එක මාරුකලාම හරි. අදට එච්චරයි. ගිහිං එන්නං.

Monday, April 23, 2012

සංවේගයෙන් දැනුම්දීමයි! ශ්‍රී ලංකා රග්බි පිලිපීනයේදී මියයයි.

දැඩි අකුණු සහිත කාලගුණ තත්වයක් මධ්‍යයේ වුවද, උග්‍ර රග්බි ලෝලියෙකු ලෙස මා පසුගිය සෙනසුරාදා දින හවස් කාලය කැපකලේ පිලිපීනය සමග ශ්‍රී ලංකාව සහභාගී වූ තරගය නැරඹීම සදහාය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනය පරාජයට පත්කර ආසියාවේ සුපිරි පස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාවි යයි අපේක්ෂාවෙනි. එහෙත් සිදුවූයේ අනෙකකි. දුර්වල පිලිපීනය හමුවේ අපේ කණ්ඩායම පරාජයට පත්විය. ඒ සමගම ආසියාවේ පලමු කාණ්ඩය (Division I) දක්වා පසුබැසීමටද සිදුවිය. එය එසේ වුවද මාධ්‍ය ගැත්තන්, ශ්‍රී ලංකාව සහභාගීවු තරග තුනෙන් දෙකක් දිනා 66.66%ක ජයග්‍රාහී ප්‍රථිශතයක් ඇත්තන් බව ප්‍රකාශ කලහොත් එය පුදුමයක් නොවේ. (ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වූ සිංගප්පූරුව සහ චීන තායිපේ කණ්ඩායම් තරගාවලිය ආරම්භයේදී ලෝක ශ්‍රේණිගත කිරීම් වලදී අත්කරගෙන සිටින ස්ථාන පිලිවෙලින් 52 සහ 57 බවත්, පිලිපීනය 72 සහ ශ්‍රීලාකාවේ ස්ථානය 46 බවත් සදහන් කරමි).

වසර දහයක පමණ මෑත කාලයක සිට ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වයෙන් ක්‍රිකට් වලට පමණක් දෙවැනි වෙතැයි සිතියහැකි රග්බි ක්‍රීඩාවේ, කොළඹ හෝ නුවර පැවැත්වෙන අන්තර් සමාජ මට්ටමේ තරගයකට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස, ක්‍රිකට් තරගයක සහභාගීත්වයද ඉක්මවා යන තැනට පත්ව තිබුනි. මහනුවර ප්‍රමුඛව ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වූ රග්බි, කොළඹ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩා සමාජයන් වූ CR & FC, CH & FC සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් වල දියුණුවත් සමග ඇතිවූයේ දැඩි තරගකාරී ස්වභාවයකටය. එය රග්බි ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය නුවර-කොළඹ සීතල යුද්ධයක් විය. මෙම දැඩි තරගකාරී බවේ යහපත් ප්‍රථිපලය ලෙස සංජීව ජයසිංහ, අම්ජාඩ් බක්ස්, නාලක වීරක්කොඩි, රධික හෙට්ටිආරච්චි, ෆසීල් මරිජා, දුෂාන්ත ලෙව්කේ... වැනි ආසියානු මට්ටමට අභියෝග කලහැකි ක්‍රීඩකයන් පිරිසක් බිහිවිය. මේ හේතුවෙන් ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන සිංගර් ශ්‍රී ලංකා සත්සාමාජික තරගාවලියේදී ප්‍රභල ස්ථානයකට පත්වීමට ශ්‍රීලංකාවට හැකිවිය.

ශ්‍රී ලාංකීය රග්බි එසේ දියුණු වෙද්දී එවකට පාසල් ක්‍රීඩකයන් වූ ජනාධිපති පුතුන්, පාසලෙන් නික්ම අන්තර් සමාජ ධාරාවට පැමිණීමත් සමග ක්‍රීඩාවට කණකොකා හැඩීමට පටන් ගත්තේය. නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා කග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වීමත් සමග ඔහුට අවශ්‍ය වූයේ තම කන්ඩායමේ ජයග්‍රහණයයි. ක්‍රීඩාවක ජයග්‍රහණය සදහා යෙදවියයුතු කැප කිරීම වෙනුවට ඔහු අපූරු ක්‍රම කිහිපයක් භාවිතා කලේය. ඉන් පලමුවැන්න වෙනත් කන්ඩායම් වල ක්‍රීඩාකල දක්ෂයන් තම පිලට ගැනීමයි. සරළව කියුවහොත් තම පියාගෙන් උරුම වීයැයි සිතිය හැකි ඔළුගෙඩි මාරුකිරීමේ ක්‍රමවේදයයි. ගිවිසුම් මගින් තම කණ්ඩායමට ගෙන ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුන් නුවන් හෙට්ටිආරච්චි වැන්නන්ට තර්ජනය කිරීම හා අත්අඩංගුවට ගැනීම තවත් ක්‍රමවේදයකි. මීට අමතරව ප්‍රතිවාදීන්ට පහරදීම් වැනි දේ වලටද පෙළඹිණි.

මේ අයුරින් නාවික හමුදා කණ්ඩායම "රටේ වැඩකාරයන්" වූ අතර එහි නායක රාජපක්ෂ පුත්‍රයා ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වයට පත්විය. අළුයට තිබූ ගිනි මතුවූයේ ඉන්පසුවය. තෝරාගත් කණ්ඩායමට හා නායකත්වයට එරෙහිව මහනුවර කණ්ඩායමේ ජ්‍යේෂ්ටයන් ඉවත්වීමත් සමග, (ගැතිකම් කරන මාධ්‍යවේදීන්(?) තරුණ කණ්ඩායමක් ලෙස හැදින්වූ) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ ලජ්ජාසහගත පරාජයකට ලක්වී මවුබිමට පැමිණිමටය. ඔළුගෙඩි මාරුකිරීම් වලින් සහ නීතියේ නූල්සූත්තර වලින් ලංකාව තුල "ලොක්කන්" වීමට ඕනෑම කණ්ඩායමකට හැකි වුවද ජාත්‍යන්තරයේදී අයත් වන්නේ මෙවන් පරාජයන් බව සිහිතබාගත යුතුය.

සබැදිය: රාජ්‍ය පාලනය ASP පැදුරු පාටිය වගේද? (මේ පිළිබදව රාමචන්ද්‍රගේ අඩවියේ සටහන)

Thursday, April 19, 2012

සුනාමි ඇවිල්ලා.

මාසෙක විතර කාලයක ඉදල අපේ ගමට සුනාමි එනව දිගට හරහට. හොදට සරුසාරෙට හැදිල තියන කුඹුරු ඔක්කොම සුනාමියට අහුවෙනව. සුනාමි කිව්වෙ ඔය පිංතූරෙ දාල තියන සුනාමි ගැන මිසක් මිනීමරු සුනාමි නෙවේ. අන්තිමට අපේ පොඩි කුඹුරු කෑල්ලටත් සුනාමිය ආව. ඊයෙ හවස මම වැඩ ඇරිල ගෙදර යනකොට තාත්ත වී මල්ලක් කර තියාගෙන පාරදිගේ ගෙදර එනව. අවුරුදු හැට ගනනක් වයස උනත් කිලෝ 40ක 50ක විතර වී මල්ල කරේ තියාගෙන එන්නෙ හිතේ හයියට මිසක් වෙන දෙයක් නිසා නෙවේ. මාත් දනිපනි ගාල කලිසමයි ෂර්ට් එකයි ගලවල දාල මොඩ් ගොවිය කිට්එක දාගත්ත.

අපේ ගෙදර ඉදල කුඹුරට යන්න තියෙන්නෙ කාණුවක් වගේ පාරක. ඒකෙ මීටර 300ක් විතර ගියාම වෙල්යාය. වෙල්යායෙ ආරම්භයෙ ඉදල අපේ කුඹුරට තියන දුර මීටර 500ක් විතර. වෙල්යාය මැද්දෙ තියනව පොඩි ඇලක්. සුනාමියෙන් නෙලාගත් අස්වැන්න ඒකෙන්ම ඇල ලගට ගෙනත් දෙනව. එතන ඉදල පාර ලගට වී‍ ගෙනයන්න වෙන්නෙ කරේ තියාගෙන. ඒ මදිවාට ඇල හරහා දාල තියන ඒදන්ඩෙන් එගොඩ වෙන්නත් තියනව. මෙන්න මේ අමාරුම කෝස්එක තමයි මම ස්වේච්ඡාවෙන්ම භාර ගත්තෙ :P

දැන් වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. සුනාමියෙන් ගෙනත් දුන්න වී ටික තියනව ඇලෙන් එගොඩ. ඒක තියෙන්නෙ මාගලක දාල. මාගල කියන්නෙ පොහොර එහෙම නැත්නං පාන්පිටි දාන මලු විශාල ප්‍රමාණයක් දෙපැත්තකින් කපල එකට එකතුකරල මසා හදාගත්ත විශාල පැදුරකට. මාගලේ තියන වී මළුවලට දැමීමේ කාර්ය කරන්නෙ අපේ අම්ම. ඊට පස්සෙ ඒක මගේ කරෙන් තියනව. මම වී මල්ලත් කරතියාගෙන අමාරුවෙන් ඒදණ්ඩෙන් එගොඩ වෙලා ඒක ගෙනියනව තාත්ත ලගට. තාත්ත බයිසිකලයක තියාගෙන ගෙදරට ප්‍රවාහනය කරනව. මුලදි ඒදණ්ඩෙන් එගොඩවීම සෑහෙන ප්‍රශ්නයක් උනත් පස්සෙ ඒක අවුලක් උනේ නෑ. මේ කතාව කිව්වෙ ගොවිතැනේ තියන අමාරු ස්වභාවය ගැන කියන්න ඒන නිසා. වී මලු 12ක් 15ක් විතරක් තිබුන නිසා එච්චර අමාරු නැතත්, දැං කරන වයිට් කොලර් ජොබ්එක නිසා කාලෙකින් ඇග මහන්සිවෙන වැඩක් කලේ නැති නිසාත් පොඩිපොඩි ඇගේ අමාරුකම් දැනටත් තියනව. :D

කියන්න හිතං හිටි වැදගත් කාරණය තමයි සුනාමිය නිසා ඇති වාසි අවාසි ගැන. අපේ තාත්තල පොඩිකාලෙ හරක් යොදාගෙන තමයි ගොයම් පාගල තියෙන්නෙ. ඊට පස්සෙ වී වලින්, බොල් වී වෙන්කරල තියෙන්න ස්වාභාවික සුලගෙන් තමයි. මෙතනදි ලැබුන අස්වැන්න සෑහෙන හොද තත්වයක තිබිල තියනව. ඊට පස්සෙ තමයි ට්‍රැක්ටර් යුගය. එතනදිත් අන්තිමට ලැබුනෙ සුපිරි වී ටිකක්. හැබැයි සුනාමියෙන් ලැබෙන අස්වැන්න නං ෆිනිෂින් අන්තිමයි. ඒකට හේතුවක් තියනව. පළමු ක්‍රම දෙකේදීම ගොයම් කපල ‍වියලි ගොයම් වලින් තමයි වී ඇටේ ගන්නෙ. දැන් සිද්ධ වෙන්නෙ කුඹුරෙ තියන ගොයම් ගසේ තියන වී කෙලින්ම මළුවලට එන එකයි. එතනදි වී වියලීමක් හෝ බොල් වී නිවැරදිව වෙන්කිරීමක් සිදුවෙන්නෙ නෑ. ඒකෙ ප්‍රථිපල විදියට ගොවියාට සිද්ධවෙනව වී වියලාගන්න, එහෙමත් නැත්නම් ප්‍රමිතියෙන් තොර වී ගන්න මුදලාලි කෙනෙකුට වී ටික‍ දෙන්න. මේ තත්වයේ වී රජයේ වී මිලදී ගන්නා මධ්‍යස්ථාන වලින් ගන්නෙ නෑ. ඒවට දෙන්න නං හොදම තත්වයේ වී තියෙන්න ඕන. අනිත් අතට වී වියලීම කියනදේ ලේසියෙන් කරන්න බෑ. උදාහරණයක් විදියට අක්කරයක වී මලු 50ක් තිබුන කියල හිතමු. ඒක වේලගන්න අවශ්‍ය කරන මාගල මළු 100ක විතර විශාලත්වයක් ඇතිව සාදල තියෙන්න ඕන. හිතාගන්න පුවවන් නේද දුෂ්කරතාවය.

හැබැයි මොනව කිව්වත් සුනාමියෙ වාසිත් තියනව. කෙටි කලකදි අස්වැන්න නෙළීමට හැකිවීම, මිණිස් ශ්‍රමය අවම වීම වගේ කාරණා. හොදට වියලි තත්වයේ තියන ගොයම් වලින් වී ලබාගැනීමේදී මම උඩ කිව්ව දෝශ අඩුවෙනව.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ දවස්වල අපේ පැත්තෙ වී කිලෝවක් රුපියල් 17ට 18ට විකිණෙන්නෙ. අපොයි ගොවියගෙ මහන්සිය! නොදනිමි කාගෙ දොසා.....

Wednesday, April 18, 2012

කටු කන බල්ලෝ.

කටු කන බල්ලෝ වඩාත් සැර බව අපේ පැරණි කියමනක් ඇත. හේතුව කුමක් වුවත් කතාව ඇත්තකි. බල්ලන් යයි හදුන්වන්නේ අප දන්නා කකුල් හතරේ මිතුරන් පමණක් නොවේ. කකුල් දෙකේ බල්ලන්ද මීට ඇතුලත් කල යුතුය. කකුල් හතරේ බල්ලන්ගෙන් නම් එතරම් කරදරයක් නොමැත. උන් කරන්නේ සපාකෑම පමණක්ම බැවිනි. හොද පොල්ලක් අතට ගත්විට කකුල් හතරේ බල්ලන් සරෙන්ඩර්ය. ඕනෑ නම් නහයට හෝ පශ්චාත් ප්‍රදේශයට දෙනලද සුළු ප්‍රහාරයකින් මෙල්ල කල හැකිය. එහෙත් කකුල් දෙකේ බල්ලන් එසේ නොවේ. උන් මෙල්ල කිරීම ලෙහෙසි පහසු නැත. තම ස්වාමියාගේ බලය අතට රැගෙන පැමිණෙන මොවුන්, සපාකෑම පමණක් නොව මාරාන්තික අනතුරු පවා සිදුකරයි. රාජ්‍ය සේවයේ වසර කිහිපයක් සේවය කිරීමේදී මෙම බල්ලන්ගෙන් ඇතිවන කරදර පිලිබද හොද අවබෝධයක් ලබාගත හැකිය.

කටු කන බල්ලන් ස්ථාන අනුව කොටස් දෙකකට බෙදිය හැකිය. එක් කොට්ඨාසයක් කාර්යාල තුල සිටිමින් ආයතන ප්‍රධානීන්ගේ බලය සියතට ගෙන තමන්ට වඩා උසස් නිලධාරීන්ට පවා නියෝග ලබාදෙන මට්ටමට පත්වූවන්ය. "මේක බොස්ගෙ ඕඩර් එකක්, කොහොම හරි කෙරෙන්න ඕන" ආදී වශයෙන් දෙනු ලබන නියෝග පිලිබදව සමහර විට ප්‍රධානියා නොදන්නවා වන්නටද පුළුවන්ය. එහෙත් තම කාර්ය ඉටු නොවුවහොත් කේලාම් ආදිය කියා ප්‍රධානියා අමනාප කිරීමට මොවුන් සමත්ය. මොවුන්ගේ සපාකෑමට ලක්වන අනිත් කොට්ඨාසය වන්නේ යම් යම් අවශ්‍යතාවන් ඉටුකරගැනීම සදහා කාර්යාලවලට පැමිණෙන අහිංසක මිණිසුන්ය.

කටු කන බල්ලන්ගේ දෙවැනි කොට්ඨාසය වන්නේ පිටතින් පැමිණෙන බල්ලන්ය. රටේ පළමු පුරවැසියාගෙන් පටන්ගෙන ප්‍රාදේශීය දේශපාලකයා දක්වා වන, තම ස්වාමීවරුන්ගේ ආගීර්වාද ලත් බල්ලන් වන මොවුන් අතිශයින්ම භයානකය, එමෙන්ම අතිශයින්ම මෝඩය, අතිශයින්ම බලවන්තය. මට හමුවූ බල්ලන් අතුරින් මේ එක් අයෙකි.

එදින මා සිටියේ වාහන බලපත්‍ර අංශයේ රාජකාරී කරමින්ය. සුදු පැහැති ජිප් රථයකින් බල්ලා පැමිණි අතර ඔහුගේ අවශ්‍යතාවය වූයේ ආදායම් බලපත්‍රයක් ලබාගැනීමයි. එහෙත් ඊට අවශ්‍ය කරන ලියකියවිලි ඔහු අත නොතිබූ බැවින්, අදාල කාර්ය ඉටුකරදිය නොහැකි බව මා පැවසුවෙමි. ඔහුගේ පළමු ප්‍රශ්නය වූයේ "මම කවුද කියල දන්නවද?" යන්නය. ඔහුගේ තත්වය කුමක් වුවත් එය රාජකාරියට අදාල නොවන බව මා පැවසූ පසු (ඇත්තටම ඔහු කවුදැයි මා දැන සිටියේ නැත) අදාල කාර්ය ඉටුකරවාගත්තේ මාගේ ආයතන ප්‍රධානියාට පමණක් නොව අපගේ දෙපාර්තමේන්තු ප්‍රධානියාටත් කතාකර නියෝග කරවීමෙනි. ප්‍රධාන පුරවැසියෙකුගේ ශරීර ආරක්ෂක බල්ලෙකු වන ඔහුගේ සිවිල් බලය එසේය.

මෙවැනි බල්ලන් බැද දැමීමෙන් තොරව යහපත් රාජ්‍ය සේවයක් අපේක්ෂා කිරීම විහිළුවකි. දාහත්වන සංශෝධනයෙන් බලගන්වන ලද ස්වාධීන කොමිෂන් සභා වැනි දේ හෝ තිබුනේ නම් රජයේ සේවකයාට කොන්ද කෙලින් තබාගෙන සේවය කලහැකිව තිබුනි. දැන් සිදුව ඇත්තේ බල්ලන්ට යටත්වී සේවය කිරීමටය. සටහන අවසන් කිරීමට මත්තෙන් පසුගිය පළාත් පාලන මැතිවර‍ණයේදී ලැබූ මෙවන් "බලු පැටියෙකු" පිලිබද අත්දැකීමක් සදහන් කරමි. තමා කවුද, තමාගේ බලය කුමක්ද යන්න නොදැන චන්ඩි පාට් දමන බල්ලන්ගේ මානසිකත්වය මෙයින් තේරුම්ගත හැකිය.

එදින මා සිටියේ ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පැමිණෙන පෝලිමේ පලමු ස්ථානයේය. මගේ රාජකාරිය වූයේ අනන්‍යතාවය තහවුරු කරගැනීමයි. බල්ලා පැමිණ යම් හැදුනුම්පතක් ඉදිරිපත් කල අතර අපේ සංවාදය මෙසේය.

මම: මහත්තයා, ඡන්දෙ දාන්න ඕන කරන අයිඩෙන්ටි කාඩ් වර්ග 8ක් තියනව, අර බෝඩ් එකෙත් දාල තියෙන්නෙ! මේකට නං දාන්න බෑ.
බල්ලා: ඇයි මේකට දාන්න බැරි? මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්.
මම: ඒක වෙන්නැති, ඒත් මෙතෙන්ට ඕන වෙන්නෙ මම කියපු අයිඩී කාඩ් වර්ග අට විතරයි. ඕකට නං දාන්න බෑ. අන්න ඉන්නව එස්පීඕ මහත්තය එයත් එක්ක කතාකරල බලන්න ඕන නං.

මා බල්ලා එස්පීඕ මහත්තයාට (ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති) භාරකලේ එලෙසිනි. බේරාගැනීමට නොහැකිවූ ගැටළු තමා වෙත යොමුකරන ලෙස ඔහු පළමුව උපදෙස්දී තිබිණි.

බල්ලා: මේකට ඡන්දෙ දාන්න බැරිද?
එස්පීඕ මහත්තය: මේකට නං දාන්න බෑ.... අර ඉස්සරහ ගහල තියනව ඡන්දෙට ඕන කරන හැදුනුම්පත් වර්ග ටික. එයින් එකක් ගේන්න වෙනව.
බල්ලා: මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්.
එස්පීඕ මහත්තය(තරමක් තදින්): මට ඔයාට පෙන්නන්න පුළුවන් ඔයිට වඩා ලොකු අයිඩී එකක් මගේ ලග තියනව, කරුණාකරල යන්න. ඔයා රජයේ සේවකයෙක්නේ. අපි වැඩ කරන්නෙ අපිට උපදෙස් දීල තියන විදියට.

බල්ලා පිටවී යනු ඇතැයි බලාසිටියත් ඔහු නැවත පැමිණියේ මා‍වෙතය. සාක්කුවෙන් ගත් පසුම්බි‍ය විවෘත කලවිට ජාතික හැදුනුම්පත පමණක් නොව රියදුරු බලපත්‍රයද ඔහු ලග තිබුනි. ඉන් එකක් පාවිච්චි කර ඡන්දය සලකුණු කර පිටවී යන විටද ඔහු මුමුණමින් සිටියේ "මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්" යනුවෙන්ය.

ඔහුගේ ප්‍රථික්ෂේප වූ හැදුනුම්පත ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත්කරන ලද්දක් වූ අතර එහි තනතුර යන්නට ඉදිරියෙන් "රියදුරු" යන්න සටහන් වී තිබුනි.

Thursday, April 12, 2012

කරදර දුරුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ අවුරුද්ද ආරම්භ වුනේ එච්චරම හොද විදියට කියල කියන්න බෑ. සුනාමි අවදානමකුත් අරගෙනයි අවුරුද්ද ආවෙ. අනතුරක් නොවුනත් මේ නිසා මිනිස්සුන්ට සිදුවුන කරදර අප්‍රමාණයි. අවුරුදු කාලෙ හරි හම්බකරගත් ලාභය අවසාන දවසේ වෙළදපලේම දමා යන්න සමහර වෙලෙන්දන්ට සිදුවුනා. අවුරුද්ද සමරන්න ගෙදර ගෙනයන්න ගත්ත බඩු මල්ල විසිකරල යන්න මිනිස්සුන්ට සිදුවුනා. ඒ මිලමුදල් වලට වඩා ජිවිතය වටින නිසා. කොහොම උනත් ජීවිත හාණි නැතුව මේ විදියට ඒ සිද්ධිය අවසන් වීමම ලොකු දෙයක්.

කනගාටුදායක අනිත් කාරණය අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වෙච්ච වෙනීගෙ ආදරණීය මව මෙලොව හැර ගිහිල්ල. බ්ලොග් අවකාශයේ සියල්ලන් වෙනුවෙන් ඇයට නිවන් සුව ප්‍රාර්තනා කරනව!

ඊට පස්සෙ කියන්න තියෙන්නෙ ජීවිතය කියන්නෙ මේවගේ සැප දුක් දෙකම තියන තැනක් කියල විතරයි. ඒවගේම මේ අවුරුදු කාලෙ විනෝද වන්නන්ට කියන්න තියෙන්නෙ පසුතැවීම් රහිත විනෝදයක් ලබාගන්න. එක් නිමේෂයකින් ඔබේ විනෝදය ජීවිත කාලයටම මතක තියන අවාසනාවන්ත සිද්ධියකින් කෙලවර කර නොගන්න.

අවසානයට,
සියලු කරදර හිරිහැර මැද්දේ උනත්, උදාවන අවුරුද්ද සුභ වෙන්න කියල ප්‍රාර්තනා කරනව බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම. ඉදිරි අවුරුද්දෙදි වඩාත් හරවත්ව වඩාත් විනෝදාත්මකව වැඩි වැඩියෙන් බ්ලොග් සටහන් කරන්නට අවකාශය සැලසේවා!

Tuesday, April 10, 2012

අරක්කු බොන්න නෝනගෙන් සල්ලි ඩැහැගත් අපේ රාලහාමිලා!

දාන්න හිතාං හිටිය කතාවට වෙලාව මදිවුන නිසා පොඩි කතන්දර දෙකක් දාන්නයි යන්නෙ. මතකද දන්නෙ නෑ ඖෂධීය පනා ගෙනත්දීපු ග්‍රාමසේවක රාලහාමිගෙ කතාව? මේකෙත් කතා නායකය එයා තමයි. සුපුරුදු විදියටම අනුමත වෙන්න සල්ලි නැතිවුන දවසක මේ කියන රාලහාමි ගියා තවත් රාලහාමි කෙනෙකුගෙ ගෙදර. එයත් මෙයාටම හපන් හාදය. ටික වෙලාවක් දෙන්න කතා කරමින් හිටියත් සල්ලි ප්‍රශ්නෙ දෙන්නටම හිටිය. ගෙදර අයිති රාලහාමිගෙ නෝන ගුරුවරියක්. එයාලග සල්ලි තිබුනත් ගන්න විදියක් නෑ. කොහොමත් ගුරුවරියකගෙන් සල්ලි ගන්නඑක ඉබ්බගෙ මයිල් ගන්නව වගේ වැඩක්නේ..... මේ වෙනකොට නෝන විදුහල්පති විභාගෙ ලියල පාස්වෙලයි හටියෙ. අපේ රාලහාමිට මේ වෙලාවෙ ගණදෙවි නුවණ පහල උනා.

අපේ රාලහාමි: මේ උඹේ නෝනගෙ වැඩේ කොහොමද?
ගෙදර රාලහාමි: ආ..... උඹ ඇමතිතුමාට කිව්වද?......... පත්මා...... මෙහාට එනව,..... රාලහාමි අරක ඇමතිතුමාට කිව්වලු. (හාමිනේද පැමිණේ)
අපේ රාලහාමි: මම කිව්ව ඇමතිතුමාට, වැඩේ හරි කිව්ව! පත්වීම ලැබෙයි.
හාමිනේ: ඒත් අයියේ කිට්ටුවක පුරප්පාඩුවක් නෑනේ.........
අපේ රාලහාමි: ඒක ගැන බයවෙන්න එපා. පුරප්පාඩුවක් හදලහරි දෙන්නංකො. ඇමතිතුමා නොකර ඉන්නෙ නෑ මං කිවුවොත්.

ඔය විදියට තුන්දෙනාගෙ කතාව ටික වේලාවක් ඇදුන කියමුකෝ,
ගෙදර රාලහාමි(නෝනට): මේ.... රාලහාමිට අපි සලකන්න ඕනනේ, මොනවහරි ගේන්න සල්ලි දෙනව.
නෝනාගෙන් රුපියල් 1000ක් ලැබෙනව. දෙන්න පුළුවන් විදියට ඒකෙන් සප්පායම් වෙනව. ටික වෙලවක් ඉදල ගෙදර රාලහාමි ආයෙත් නෝනට කතා කරනව.

ගෙදර රාලහාමි: මේ..... මේ වැඩේ ඉවරයක් කරල දාමු. දෙනව තව 500ක්.
ඒ 500ත් අනුමත වෙච්ච අපේ රාලහාමි ගෙදර එනව. මේ සිද්ධිය වෙලා අවුරුද්දකටත් වැඩියි. නෝන තනතුර තාමත් උපගුරු.


දෙවනි කතාව මේකයි. රාලහාමි දවසක් හැන්දෑවෙ යාලුවොත් එක්ක අනුමත වෙලා. ගෙදර එනකොට රෑ 12ත් පහුවෙලා. ඒ මදිවට මගදි බයික් එකෙන් වැටිල තුවාලත් වෙලා. මහ රෑ මැද නෝනට ඇහැරවල ප්‍රශ්න වලට උත්තර බදිනවට වඩා ඉස්තෝප්පුවෙ නිදාගැනීම වඩා බුද්ධිමත් තීරණයක් බව රාලහාමිට ඒ‍වෙනකොටත් වැටහිලයි තිබුනෙ. මෑන් ඉස්තෝප්පුවෙ නිදියගත්ත. ප්‍රමාණය ඉක්මවා අනුමත වෙච්ච නිසා නෝන උදේ දොර අරිනකම්ම රාලහාමි සුව නින්දෙ හිටියෙ. නෝනගෙ ප්‍රශ්න වැලට එකෙන්ම උත්තර දුන්න රාලහාමි සියලු චෝදනා වලින් නිදහස් උනේ මෙන්න මෙහෙමයි.

තමුසෙගෙ නින්ද මාර නින්දක්කෙ..... මම ඊයෙ රෑ දානෙ ගෙදර ගිහිල්ල ඇවිල්ල දොරට ගහනව ගහනව තමුසෙ නිදි. මම ගේ වටේටම ගිහිල්ල ජනෙල් වලටත් තට්ටු කලා..... කුස්සිය ලගදි මොකක්ද එකක් පැටලිලා වැටිල මූනත් තුවාලද කොහෙද.... මේ බලනව! ඔහොම නිදාගන්නකොට මොකෙක්හරි ඇවිල්ල උස්සං ගියත් දන්නෑ.

කොහොමද ටිකිරි මොලේ.

Sunday, April 8, 2012

මම කක්කවා, ඔයා කක්කවාද? (රවි අයියගෙ කතා අවසාන කොටස)

ඕනවට වැඩිය කෑවොත් අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් තියනවනේ. ඔන්න රවි අයියගෙ කතා සෙට්එක අවසන් කරන්න කියලයි හදන්නෙ. මේ අවුරුදු කාලෙ නේ. කියන්න යන කතා තුනම රවි අයියට සිද්ධවුනේ අවුරුදු කාලෙ.

රවි අයිය කියන්නෙ කොයි වෙලාවෙත් බඹර වගේ ඉන්න මණුස්සයනේ. එක අවුරුද්දක් දවසක යාලුවො සෙට් එකත් එක්ක වෙල්දෙනියකට ගිහිල්ල සෙට් උනා. පමණ ඉක්මවා අනුමත වෙච්ච නිසා කස්ටියම එක එක විකාර. මේ අතරෙ ඈතින් පොලිස් ජීප්එක එනව දැක්ක. එන පොට හොදනැතිවග දැනගත්ත යාලුවො ටික "මෙතනින් මාරුවෙමු කියන යෝජනාව" ගෙනාව. ඒත් රවි අයිය ඒ වෙනකොටත් හිටියෙ "පොලීසියට සතපහකට බය නැති" මට්ටමක. එයාගෙ උත්තරේ උනේ "උඔලට ඕනනං පලයල්ල, මම ඉන්නව. පොලීසියෙ එවුන් මොනව කරන්නද" කියනඑන. යාලුවන්ටත් හෙන අවුල! රවී දාල යන්නත් බෑ, පොලීසියට අහුවෙන්නත් බෑ. අන්තිමට පොලීසිය කිට්ටුවට එනකං ඉදල යාලුවො පැනල ගියා. රවි අයිය පොලිසියට අහුවුනා. ජිප් එකට දාගත්ත. බලනකොට ඕඅයිසී මහත්තයත් ඇවිල්ල. විස්තර අහල බැලුවම රජයේ සේවකයනේ, උසාවි දාන්න හිතිලත් නෑ. ඒගමන ඇවිල්ල රවි අයියලගෙ ගෙදර ලගට. ඕඅයිසී මහත්තයත කිව්වලු ගෙදර ඉන්න හැමෝටම එන්න කියල, අම්මයි නංගියි මල්ලියි ආවලු.

ඕඅයිසී මහත්තය: මේ කවුද?
අම්ම: පුතා මහත්තයෝ.....
ඕඅයිසී මහත්තය: එහෙමද! පුතා නදේට ගහල ඉන්නෙ, ගෙට අරගෙන දෙහි බෑයක් ඔලුවෙ ගාන්න. එතකොට හරියයි.

ඔන්න ඔහොමයි ඕඅයිසී මහත්තය රවී අයියව අම්මට භාර කලේ.

දෙවනි එකත් පොලිස් කේස් එකක්ම තමයි. මුල්ටික ඉස්සෙල්ල කතාවෙ වගේමයි. පොලීසිය පාටිය තිබුන තැනට ආව. සුපුරුදු විදියට රවි අයිය විතරයි හිටියෙ. කතාව මේවිදියටයි ගිහිං කියෙන්නෙ,
ඕඅයිසී මහත්තය: තමාගෙ නම මොකක්ද?
රවි අයිය: සෙනරත්... (රවි අයියගෙ ස'නේම් එක සෙනරත්)
රාලහාමි කෙනෙක්: සර්..., මෙයාට වරෙන්තුවක් තියනව.....
ඕඅයිසී මහත්තය: එහෙමද..... එහෙනං යං පොලිසියට!
රවි අයිය: මට වරෙන්තුවක් නෑ.... මම ...... කාර්යාලෙ වැඩ කරන්නෙ.
රාලහාමි: නෑ සර් මෙයාට වරෙන්තුවක් තියනව.
කරුමෙ කියන්නෙ වරෙන්තුවක් තියන සෙනරත් කෙනෙකුත් ඒ පැත්තෙ ඉදල තියනව. ඒ නිසා රවි අයියට ජිප් එකට නගින්න උනා. පොලිස් කූඩුවෙ ටික වෙලාවක් ඉන්නකොට රවි අයිය දන්න කියන රාලහාමි කෙනෙක් ඇවිල්ල, විස්තර හොයල බලල වෙච්ච වැරදීම ගැන ඕඅයිසී මහත්තයට කියල. ඊට පස්සෙ රවි අයියට යන්න කියල. කොහොම උනත් රවි අයිය ගෙදර ගියේ නෑ. ගියේ ඕඅයිසී මහත්තය ලගට,

රවි අයිය: සර්, මම කූඩුවෙ දැම්මට කමක් නෑ,.... ඒත් මම අවුරුද්දට ගත්ත අලුත්ම ටී ෂර්ට් එක ඔයාල ගත්තනේ.... මට ඒක ඕන.
ඕඅයිසී මහත්තය: නෑ නෑ අපි ගත්තෙ නෑ.... ඔයා ෂර්ට් එකක් නැතුවනේ ආවෙ!
රවි අයිය: සර්, අවුරුදු දවස්වල ජරා වැඩ කරන්න එපා..... මම මේක කියනව ඒඑස්පී මහත්තයටත්.
ඕඅයිසී මහත්තය:(රාලහාමි කෙනෙකුට කතා කරමින්) මෙයාගෙ ෂර්ට් එක ගත්තද?
රාලහාමි: නෑ සර්.... මෙයා ලග ෂර්ට් එකක් තිබුනෙ නෑ.....
රවි අයිය: මොකද නැත්තෙ ෂර්ට් එක ඇදගෙන හිටියෙ නැති උනාට ඒක කරේ දාගෙනනෙ මම ජිප් එකට නැග්ගෙ!

අපේ මෑන්ගෙන් බේරෙන්න බැරි තැන රාලහාමි කෙනෙකුගෙ අලුත්ම ටී ෂර්ට් එකක් රවි අයියට ලැබිල. ඒත් එතනිනුත් ප්‍රශ්නෙ අවසන් වෙලා නෑ. ඊට පස්සෙ රවි අයියගෙන් තවත් ඉල්ලීමක්,
රවි අයිය: සර්, මගේ අතේ සල්ලිත් නෑ, ගෙදර යන්නෙ කොහොමද?
ඕඅයිසී මහත්තය:(රාලහාමි කෙනෙකුට කතා කරමින්) මෙන්න මෙයා හිටපු තැනටම ගෙනිහිංදාන්න.
ප්‍රශ්න ඔක්කොම ඉවරයි. රාලහාමිගෙ බයික්එකේ පිටිපස්සෙ වාඩිවෙලා රවි අයිය කලින් හිටිය තැනට ඇවිල්ල. ඊට පස්සෙ දැක්කදේ රවි අයිය මට කිව්වෙ මෙහෙමයි,
"මල්ලී මම අරූගෙ ටීෂර්ට් එක ඇදගෙන එනකොට අපේ ගෙදරට හැරෙන තැන අන්දර ටැටේ තියනව මගේ ටී ෂර්ට් එක"


අන්තිම කතාව සිද්ධ උනේ හරියටම ගිය අවුරුද්ද දවසේ. මාත් ඒ වෙලාවෙ හිටිය. අපි අවුරුදු දවසෙ සෙට්වෙලා කතාබහ කරමින් ඉන්න අතරේ කෑම කන වෙලාවත් පහුවුනා. ඊට ටිකකට පස්සෙ රවි අයියට මැසේජ් එකක් ආව. ඊට පස්සෙ කෝල් එකකුත් ගත්ත. කෝල් එකට පස්සෙ රවි අයිය නන්ස්ටොප් හිනාවෙනව.

මම: මොකද බං උනේ?
රවි: බලපංකො මේ මැසේජ් එක. ...... එවල තියෙන්නෙ. (ඒ කියන්නෙ රවි අයිය පනින කොටුවක්)මැසේජ් එක බැලුවම මම හොල්මං,
මම: මොකද්ද බං මේ තියෙන්නෙ? මම කක්කවා, ඔයා කක්කවාද? එහෙම නේද මේ තියෙන්නෙ?
ඇත්තටම තිබුනෙ එහෙමයි,
MAMA KAKKAWA. OYA KAKKAWADA? (මම කක්කවා, ඔයා කක්කවාද?)
රවී: ඒක තමයි බං මටත් තේරුනේ නෑ, මම කෝල් එකක් ගත්ත, ඒකි කියල තියෙන්නෙ මම කේක් කෑව, ඔයා කේක් කෑවද? කියල :P

කොහොම උනත් පැය භාගයකින් විතර හිනාව සම්පූර්ණයෙන්ම නවත්වාගන්න මට පුළුවන් උනා.

Thursday, April 5, 2012

ඉල්ලන තරමට ලැබෙන යහපාලනය.

71 කැරැල්ල සිදුවී අදට වසර 41කි. විෂම දේශපාලනයට විරුද්ධව ඒකරාශී කරගත් තරුණ පිරිසක් සමග ජ.වි.පෙ. විසින් ආරම්භ කල එම කැරැල්ලෙන් ලැබූ වාසි-පාඩු කෙසේ වෙතත්, යම් යම් දේශපාලන පරිවර්ථන සිදුවිය. එහෙත් එවකට තිබූ ප්‍රශ්න මේ වනවිට කිහිප ගුණයකින් වැඩිවී ඇත. 71 සිට මේ දක්වා කාලය සැලකූ විට ආර්ථික වශයෙන් සිදුවී ඇති වෙනසක් නැතිතරම්ය.

ලංකාවේ දේශපාලනය දූෂිත යයිද මානව හිමිකම් මාධ්‍ය නිදහස නැතැයිද රාජ්‍ය සේවය දූෂිත සහ අකාර්යක්ෂමයිද ආදී වශයෙන් කොතෙකුත් චෝදනා ජනතාවගෙන් එල්ලවේ. එහි අසත්‍යතාවයක් නොමැති අතරම අයිතිවාසිකම් වෙනුවෙන් නැගෙන්නාවූ හඩට සමානුපාතිකව යම් ක්ෂේත්‍රවල වර්ධනයක්ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස අපේ රාජ්‍ය සේවය පිළිබද සේවාදායකයන්ගේ ආකල්ප ගොඩනැගී ඇත්තේද මා ඉහත සදහන් කල පරිදිය. එහෙත් මෑත කාලයේ දියුණුවක් ලබා ඇති යම් යම් ආයතන වලට, අදාල සාර්ථකත්වය ලගා කරගැනීම සදහා වූ පෙළඹවීම ඇතිකර ඇත්තේ ඉහත කී සේවා දායකයන්මය. මීට වසර දහයකට හෝ විස්සකට පෙර තිබූ රාජ්‍ය සේවය වූ කලී ජනතාවට ඉහලින් තිබූ එකක් විය (දැනුදු එවැනි ආයතන නැතුවා නොවේ). එකල යම් සේවාවක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරියෙකු විසින් දෙනලද තීන්දුව "අවසාන තීන්දුව" විය. එහෙත් අද වනවිට තත්වය බොහෝ සෙයින් යහපත් බව කිවයුතුය. අඩුම තරමින් රාජ්‍ය ආයතන යනු තම අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යූහයක් බව ඔවුන් දනී. මේ දැනුවත් භාවය ඕනෑම ක්ෂේත්‍රයක යහපත් වූ වර්ධනය සදහා ඉතා වැදගත්වේ. ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් වන තරමට පරිණාමය වේගවත් වේ.

වරක් ලේක් හවුස්හි ප්‍රධානියාව සිටි සමයේ, ජනදාස පීරිස් මහතා, මාධ්‍ය නිදහස සම්බන්ධව ප්‍රකාශයක් කලේය. එයින් කියවුනේ ලංකාව තුන්වැනි ලෝකයේ-තුන්වැනි පන්තියේ රටක් බවත් එවැනි තැනකදී පළමු පන්තියේ මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය. ඊට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ලකලේ එවකට ලක්බිම කතුවරයාව සිටි බන්දුල පද්මකුමාර මහතය. ඔහු ප්‍රකාශ කලේ මාධය ආයතනයක ප්‍රධානියෙකු මෙවැන්නක් පැවසීම වෙනත් රටකදී නම් ඔහු එම තනතුරට නුසුදුස්සෙකු බවට පත්විය හැකි වරදක් බවයි. මේ වනවිට බන්දුල පද්මකුමාර සිටිනතැන ගැන ප්‍රශ්නයක් ඇතත් ඔහුගේ ප්‍රකාශය වැදගත්ය. එනම් ලැබෙන්නේ කොතරම් කුඩා ප්‍රමාණයක් වුවත් ඉල්ලීම් දිගටම සිදුකලයුතු බවයි.

මේ වනවිට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විෂමය-ජරාජීර්ණය. කතාකිරීමට තරම් "යහපත් ගුණාංගයන්" නම් නැත්තට නැති තරම්ය. රටේ එක් පසකින් මහින්ද රාජපත්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ නඩය පෙර නොවූවිරූ ලෙස මහජන දේපල සූරාකමින් ජනතාවගේ මුදල් රිසිසේ පරිහරණය කරමින් (උදාහරණ අනවශ්‍ය යයි සිතමි) පවුල් පෝෂණය පමණක් සිදුකරමින් සිටින අතර, අනෙක්පසින් ජනතා මතයට කන්නොදී නායකත්වයේ ඔටුන්න රැකගැනීමේ ආශාවෙන් පමණක් කටයුතු කරන නායකයෙකු සහිත විපක්ෂයකි. (අනෙකුත් පක්ෂ/කණ්ඩායම් ගැන කතා කිරීමද අනවශ්‍ය යයි සිතමි). මේ හේතූන් නිසා ඒ ඒ කාලයන් තුලදී සිදුවියයුතු ආර්ථික සමාජීය හා දේශපාලන පරිණාමය සිදු නොවී සමාජය එකතැන පල්වේ.

මේ ව්‍යසනයන්ට එරෙහිව කුමක් කලයුතුද යන්න මීලගට පැණනගින ප්‍රශ්නයයි. විනාශයට එදිරිව සිය අතද කටද පෑනද යතුරු පුවරුවද මෙහෙයවන්නන් බොහෝය. අනෙකුත් මාධ්‍යන් හා සැසදීමේදී "බ්ලොග්" තවමත් සිටින්නේ ළදරු අවධියකැයි කිවහොත් එහි වරදක් නැත. මක්නිසාද යත් කෝටි දෙකක ජනගහනයෙන් බ්ලොග් කියවන්නන් සිටින්නේ දෙදහසක් පමණකැයි සැලකෙන බැවිනි. මින් වැඩි පිරිසක් දේශපාලනය ගැන උනන්දුවක් නොමැත.(විශේෂයෙන් කාන්තාවන්) තවත් පිරිසක් කලකිරීම නිසාම දේශපාලනය කතාකිරීම නවතා දමා ඇත. මේ අතුරින් දේශපාලන ලිපි ලියන්නාවූ බ්ලොග්කරුවන් සිටින්නේ අතලොස්සකි. ඔවුන් නගන හඩ සිහින් කෙදිරියක් තරම්වත් සමාජයට ඇසෙන්නේදැයි සැක සහිතය. බ්ලොග්කරණයට දෙවසරක් පිරීම නිමිත්තෙන් ලියන සටහනක ඇට මැස්සා මෙසේ කියයි.

".........ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ල ඒවාට උපරිම ප්‍රසිද්ධියක් දෙමින් ජනතාව තමන්ගේ සැබෑ ප්‍රශ්න වලට යොමු වීම වලකමින් සිටී. ඒ සඳහා ඔවුන්ට මාසයකට වරක් හැලපය බැගින් ලැබේ.
අප බඳු බ්ලොග් කරුවන්ද පසුගිය කලය පුරාවටම කර ඇත්තේ එයයි. වීරවංශ ඇඟපත පුරා මල පහ කර ගෙන නටන විට අප ඔහු ගැන ලියමු. මර්වින් පාරේ මල පහ කරන විට අප ඒ ගැන ලියමු. බන්ධුල මුවෙන් මල පහකරද්දී ඒ ගැනත් ලියමු. ඉන්පසු සියලුදෙනා එක්වී එයට සිනහසී අමතක කර දමා එවන් තව සිද්ධියක් වන තෙක් බලා සිටිමු.අද අපද ඇතුලු බොහෝ බ්ලොග්කරුවන් කරන්නේ එයයි........."


එහෙත් මගේ අදහස නම් අඩුම තරමින් ලිවීම වත් වැඩිවිය යුතුය. කලකිරීම නිසා දේශපාලනය කතා නොකරන බ්ලොග් කරුවන්ද මීට එක්විය යුතුය. මක්නිසාද අයිතීන් දිනාගත හැක්කේ ඊට හඩනගන්නන් ප්‍රමාණය වැඩිවන තරමටය.

(අප්‍රේල් 4 දින, මගේ බ්ලොග් අඩවියට වසරක් පිරීම නිමිත්තෙනි)

Tuesday, April 3, 2012

රවි අයියාගෙ කතා (III කොටස)

ටිකදොහකට පස්සෙ අදත් රවි අයියගෙ කතා දෙකක් තියනව කියන්න. එකක් රවි අයිය කරපු වැඩක්. අනිත් එක එයා කියපු කතාවක්. ඉස්සෙල්ලම කියපු කතාව.

රවි අයියගෙ ගමේ තියනව තරමක් ලොකු ග්‍රොසරියක්. ඒකෙ මුදලාලිත් ටිකක් විතර කුකුලලු. ලගදි දවසක කඩේ වැඩට ඇවිල්ල ඇහැට කණට පේන දැරිවියක්. මේ දැරිවි ටික දවසක් කඩේ වැඩ කරගෙන යනකොට මුදලාලිට කාම තන්හාව පහලවෙලා. දවසක් හවස්ජාමෙ කවුරුත් නැති වෙලාවක් බලල මුදලාලි කෙල්ල ලගට කිට්ටු වෙලා කොහේදෝ තැනකිං අල්ලල. කෙල්ල එකපාරටම කෑගහල. මුදලාලිටත් ලැජ්ජයි, කාටවත් ඇහුනද කියල දන්නෙත් නෑ, ඒ ගමන කෙල්ලට කියනවලු මෙහෙම.
"හා හා ළමය..... කෑගහන්න එපා. මම මේ ඔය ළමයව ටැස්කොරන්නයි බැලුවෙ!, ඔන්න ‍ඔහොමයි ගෑණු ලමයෙක් උනාම ඉන්න ඕන" :P

මුදලාලිගෙ ටැස් කිරිල්ල, පස්සෙ කෙල්ලගෙ කටින් පිටවෙලා. වහ කන්න තමයි වෙලා තියෙන්නෙ කියලයි රවි අයිය කිව්වෙ.


දෙවනි කතාව රවි අයියගෙ වීර ක්‍රියාවක්. රවි අයියලගෙ ගමේ ඉන්නවලු එක මණුස්සයෙක්! චූටි. ආදරේට කියන්නෙ ඌරුචූටි කියල. නම හැදෙන්න හොද හේතුවක් තියනව. මෑන් යනව ගමේ තියන ගෙදරකට. ගිහිල්ල ගෙදර ඉන්න කෙනෙකුට (කලබලයෙන් වගේ) කියනව මෙහෙම (අපි හිතමු පිරිමි කෙනෙක් හිටිය කියල),

"මාමේ... මගේ තුවක්කුවක ඌරෙක් වැදුන මේදැං. මස් ඕනනං දෙන්නං.... කිලෝවක් රුපියල් තුන්සීය ගානෙ දෙන්නං....., ආ.... බෑග් එකක් නං නෑ ගේන්න.... ඔය මොකක් හරි බෑග් එකකුත් එක්ක දුන්නොත් හොදයි"

මේ බොරුවට හුග දෙනෙක් අහුවෙලා තියනව කියලයි රවි අයිය කියන්නෙ. මොකෝ කවුරුත් කැමතියිනේ රුපියල් තුන්සීය ගානෙ වල්ඌරු මස් කන්න. ආරංචිය අහන කෙනා කැත නැතුව කිලෝ දෙක තුනකට සල්ලි දෙනව. අනිත්එක බෑග් එකකුත් එක්කනෙ ඉල්ලන්නෙ. සැක හිතන්නෙත් නෑ. සල්ලියි බෑග් එකයි ගත්තට පස්සෙ ඌරු චූටි හොයනව බොරු. ඕං ඕකයි සීන්එක. කොහොම නමුත් ඌරු චූටි දවසක් කෙහෙල් ගහකට කෙටුව.

මෑන් දවසක් රවි අයියගෙ හොදම යාලුවෙකුගෙන් මේ විදියට රුපියල් නවසීයක් අරගෙන. මස් කිලෝ තුනකට. යාලුව කොළඹ පැත්තෙ කන්තෝරුවක වැඩකරන කෙනෙක්. ගමට එන්නෙත් මාසෙකට සැරයක්. ආපු වෙලාවක රවි අයියට කියල තමං වෙච්ච රැවටීම. ඊට පස්සෙ දෙන්න එක්ක යාලුවගෙ වාහනෙං ගිහිල්ල ඌරු චූටිගෙ ගෙදර. වාහනේ දැක්ක ඌරු චූටි ගෙයි හැංගිලා ගෑණි එවල ඉස්සරහට,
රවි අයිය: අක්කේ චූටි අයිය ඉන්නවද?
ගෑණි: නැහැනේ මල්ලී....!
රවි අයිය: (කුකුල් කොටුවක් දකී) චූටි අයිය කිව්ව කුකුල්ලු තුන්දෙනෙක් ඇතිය ගෙනියන්න කියල.
ගෑණි: ආ.... එහෙම කිව්වද? එහෙනං ගෙනියන්න.

කූඩුවෙ හිටිය කුකුල්ලු තුන්දෙනාත් අරගෙන රවි අයිය ආව. පස්සෙ දවසක චූටි රවි අයියට මුණගැහිල කියනව, "රවී මහත්තයෝ.... ඔහේනං නියම බඩුවක් තමයි! එදා මම ගෙයි ඉදං බලාගෙන හිටියෙ. මට එන්න විදියක් තිබුනෙ නෑනේ....."

කීප දවසකට පස්සෙ චූටිගෙ වෙඩිල්ලකට ඇත්තටම ඌරෙක් වැදිල. රවි අයියට එන්න කියල ඇතිවෙන්න මස් දුන්නලු.

Monday, April 2, 2012

මෝඩයාගේ දවසේ කිව්ව බොරු.

අපේ ගෙවල් කිට්ටුව ඉන්න කුමාර අයිය පහුගිය අවුරුදු කිහිපයක් තිස්සේ හිටියේ මානසික රෝහලේ. ඒ කියන්නෙ පිස්සන්කොටුවේ. මෑන් ලගදි දවසක ගෙදර ආව. හොදටම හොදවෙලාද හොරෙන් පැනල ආවද කියල නං හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මොකද, අද උදේ මම ගියා මිණිහ බලන්න ගෙදරට, කාලයක් තිස්සෙ ආශ්‍රය කල මගේ හිතවතෙක්නේ. ඒ කාලෙ අපි දෙන්නා සෙට් උනොත් දේශපාලනය ගැනම තමයි කතා කරන්නෙ. මම ගෙදරට ගොඩවුනා විතරයි මිණිහට හරිම සංතෝසයි. කුමාර අයියගෙ අම්ම හදල දුන්න තේකෝප්ප දෙකත් හිස් කරන ගමන් අපි දෙන්න සුපුරුදු මාතෘකාවට බැස්ස. අපි දෙන්න කිව්වට කුමාර අයිය අවුරුදු කීපයක් අප්ඩේට් වෙලා හිටියෙත් නැති නිසා මිණිහට වැදගත් වෙන තොරතුරු ටිකක් කියල දෙන්නයි මම ට්‍රයිඑක දුන්නෙ. ඒත් සිද්ධ උනේ මම හීනෙංවත් හිතුවෙ නැති දෙයක්. කතාව පටන්ගත්තෙ මෙහෙමයි.

"ඉතිං රාජ් මල්ලී මොනවද අලුත් ආරංචි?"
"මේ දවස්වල ජිනීව යෝජනා වලට පැරදුනාට පස්සෙ කියන කතන්දර තමයි තියෙන්නෙ, ඒ ඇරුනම ඉතිං බන්ධුල ගුණවර්ධන මහත්තය රුපියල් 7500කින් තුන්දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කියල කියන කතන්දරයි මර්වින් සිල්ව මහත්තයගෙ කතන්දරයි තමයි"
"ජිනීව ගැන නං ටිකක් දැනං හිටිය මලේ.... ඉස්පිරිතාලෙටත් ආව මොකක්දෝ කඩදහියක්. ජිනීව වලට විරුද්ධ පෙස්සමක් කියලයි කිව්වෙ. දොස්තර මහත්තුරුයි නර්ස් නෝනලයි අස්සං කරනව දැකල මාත් පැන්න ගමං අස්සනක් ගැහුව"
"නෑ.... උඹත් හරි වැඩනෙ කරන්නෙ. ඉතිං මොකෑ උනේ?"
"මොකුත් නෑ බං. අර ...... යූනියන් එකේ සභාපති තුමා නං කිවුවෙ ඕවට අස්සං කරන එවුන්ට පිස්සු කියලයි. ඉතිං මං අස්සං කොරාම මොකෝ" ඒ ගමන ඌ දාර්ශනික ටෝක් එකක් දුන්න.
"ඉතිං කියහං බලන්න බන්දුල මහත්තයගෙ කතාව"
ඉතිං මං කිව්ව. ඒත් මුගේ මූණ හොද නෑ.
"රාජ් මල්ලී මම පිස්සං කොටුවෙ ඉදල ආව එකා බව ඇත්ත. මම මේව උඹෙන් ඇහුවෙ දන්නැති නිසා. උඹ විහිළු කරනව" මූ මොකාටද එන්න හදන්නෙ?
"ඇයි?.... උඹ කියපං මම කරපු විහිළුව මොකද්ද කියල"
"ඇයි බං බන්ධුල ගුණවර්ධන මහත්තය කියන්නෙ හොදට ආර්තික විද්‍යාව ඉගනගත්ත, ඒ ගැන උපාධි කප්පරක් ගත්ත මහත්තයෙක්. උන්නැහේ ඒවගේ මෝඩ කතාවක් කියන්නෙ නෑ කවදාවත්"
"උඹ කිව්වට විශ්වාස කරන්නෙ නෑනේ.... ඒ විතරක් නෙවේ, රුපියල් දෙදාස් පන්සීයකින් එක්කෙනෙකුට මාසයක් නොමැරී ජිවත් වෙන්න පුළුවන් කියලත් එතුමා කිව්ව"
කුමාරයට හිනාව නවත්තගන්න බැරිඋනා.
"උඹ මාර විහිළුනෙ කරන්නෙ, ආ.... අද අප්‍රේල් පලවෙනිද නේද?.....ඒකයි මේ....."
මටත් ඌ කිව්වමයි මතක් උනේ අද අප්‍රේල් පලවෙනිද කියල.
"හරි හරි උඹ කියපංකො මර්වින් සිල්ව මහත්තය කිව්ව කතාව"
"රාජපක්ෂල බලයේ ඉන්නකං එයා මොනව කලත් එලවන්න බෑ කියල කිව්වනෙ රැස්වීමකදි, තව මොනවද අතපය කඩන කතාවකුත් කිව්ව"
"ඉතිං?"
"දැං ඒකට විනය පරීක්ෂණයක් තියන්න හදන්නෙ පක්ෂෙං"
"ඔය ඔය උඹ ආයෙත් බොරු කියනව...., මර්වින් ඇමතිතුමා එහෙම කිව්ව කියමුකෝ....., ඒත් පක්ෂෙන් එතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක්? හෙහ් හෙහ් හෙහ් ......ඔන්න උඹ ආයෙත් බොරු කියනව...."

"උඹ ඉතිං මං කියන කිසි දෙයක් පිලිගන්නෙ නෑනේ....."
"පිලිගන්න ඇහැක් දේවල්ද උඹ කියන්නෙ? වෙන මොනවද? විහිළු නවත්තල ඇත්ත කියපං."
"ආ.... ඒක නෙවේ.... එංගලන්තෙයි ලංකාවයි ගාල්ලෙ ගහපු මැච්එක ගැන දන්නවද? ඒකෙ ටිකට් එකක් රුපියල් පන්දාහයිනේ" ඒ ගමන නං මුගේ හිනාව නැවතුනා, වාඩිවෙලා හිටිය බංකුවෙන් නැගිටල අත උස්සල දබර ඇගිල්ල මං දිහාවට දික්කලා.
"උඹ මාව විහිළුවකට ගත්ත! මට පිස්සු තමයි. ඒත් උඹට වටින්නෙ නෑ මට මෙහෙම කරන්න"
"හරි හරි ඒකෙන් වැඩක් නෑ..... මේක අහපංකෝ......, මේ ලගදි බැසිල් මහත්තය කිව්ව අපිට දැං යුරෝපෙටත් ණය දෙන්න ඇහැකිය කියල" ඒපාර නං කුමාරය සාහසික වෙච්ච තරමට මාත් බංකුවෙන් නැගිටුනා....
"අම්මට $%^^&!නැතුව උඹ කට වහගනිං.... ආයිත් මට ඔය බේගල් ඇදබාන්න ලෑස්ති වෙන්න එපා"
මුගේ සද්දෙ හින්ද උගේ අම්මත් එලියට බැස්ස,
"ඇයි ඇයි ඉස්පිරිතාලෙ ඉදල ගෙදර ආව විතරයි උඹ මගේ කොල්ලව මරං කන්න හදනවද?"
"නෑ නැන්දෙ මම කියන කිසි දෙයක් මූ පිලිගන්නෙ නෑනේ...."
"මම පිස්ස කියල මූ මට බොරු කියනව අප්‍රේල් පලවෙනිද, ඒ මදිවට වැදගත් ඇමතිවරුත් මේවට ගාවගෙන.... ඔහොම හිටපං තොට මම......." මූ එකපාරටම නැගිටල ගඩොල් භාගයක් අතට ගත්ත.
"ඒයි උඹ ආයෙත් යවනව පිස්සං කොටුවටම ඔය කොල්ලට ගැහුවොත්!" අම්ම කෑගැහුව.... කුමාරය චුට්ටක් සරෙන්ඩර් උනා...
"මම කිව්වෙ ඇත්ත නැන්දේ..... මූ කිසිදෙයක් පිලිගන්නෙ නෑ......,එහෙනං අර හාමුදුරු කෙනෙක් පෙරකදෝරු මහත්තේකුට ගැහුවෙ, නැන්ද දකින්න ඇතිනේ.... ඒවත් බොරුද......" එහෙම කියාගෙන, ගඩොල් භාගෙ ඔලුවට එන්න කලිං මම යන්තං මාරුවෙලා ගෙදර ආව.
අනේ ඒව අප්‍රේල් පලවෙනිද කියන්න තියන දේවල් උනානං කොච්චර හොදද!